
ආදරයේ උල්පත අම්මා යැයි ලියූ පෙම්කිතු කිවිඳුගේ පද සැරසිල්ල හෙළයේ සොඳුරු ගාන්ධර්වයාණන් වන වික්ටර් රත්නායකයෝ ගයති. අම්මාගේ ආදරයයි, පෙම්වතුන්ගේ ප්‍රේමයයි, මිතුරන් අතර මිත්‍රත්වයයි ආදි වශයෙන් එකිනෙකට වෙනස් පැහැයෙන් උපයුක්ත ආදරයන් අතර සේපියන්ස් ගොයියා අතරමං වී සිටී. ආදරණීය හැඟුමන් තුළ මංමුළා වූවද එහි වූ සෞන්දර්යාත්මක වින්දනයට, ප්‍රේමනීය අවකාශයට සේපියන්ස් ගොයියා ප්‍රේම කරන්නේය. ප්‍රේමය සහ වෛරය යනු විරහවත් සමඟ පෙම් ලොව දැදුරු වූ පසු අත්විඳිය හැකි තත්ත්වයකි. විරහවේ ඇති වේදනාවන් වෛරයකට නොපෙරළී කාලයත් අවබෝධයත් සමඟ සමහන් වී සුපහන් උත්තම මානව ප්‍රේමයක් වන, දෙවියන්ගේ ප්‍රේමය වන අගාපේ ප්‍රේමය බවට පරිවර්තනය කරගැනීමට සුපෙම්වතුන් ස්මාට් විය යුතුයැයි සිතේ.
කෙසේ වෙතත්, මානව ප්‍රේමයේ නිම්වළලු සිසාරමින්, විශ්වය පුරා ඉව කරමින් ඇවිද යන සේපියන්ස් ගොයියාට මානව ප්‍රේමය වූකලි හුදෙක් හිස්කබල තුළැති මොළයත් එහි ස්නායු පද්ධතියත් හෝමෝන නමැති රසායනික සංයෝගත් හේතු කරගෙන ඇති වන චිත්තවේගි ස්වභාවයක් බවට භෞතිකමය වශයෙන් ඍජු අදහසක් යැයි පසුගිය ලිපියකින් විස්තර කළා ඔබට මතක ඇත. කරුණු එසේ වුවද, වාස්තවික ලෙස මොළයේ ක්‍රියාකාරිත්වයෙන් වුවද ඇති වන මේ ජීව ක්‍රියාවන්ගේ වූ සවිඥානක ප්‍රේමය නමැති අත්දැකීම ඉතිහාසයේ පටන් මානව වර්ගයා අතර ඇති කළ සංස්කෘතිකමය වටිනාකම අපූරුය!
ඒ නිසාම, මානව ප්‍රේමයේ වූ විභේදන කිහිපයක් තවදුරටත් අසුරු කර විඳින්ට සේපියන්ස් ගොයියාට සිත් විය. එහිදී දුරාතීතයේ ඉපැරණි ග්‍රීසියේ සේපියන්ස්ලා ආදරයේ විවිධ පැහැයන් පිළිබඳ නොයෙකුත් කියවීම්වලින් සන්නද්ධව මානව ජීවිතය වින්දනය කර ඇති බව පෙනේ. අද යන්නේ ඒ ඉසවුවටය.
ආදරය වූකලි, ඥාතිත්වය, මිත්‍රත්වය, ප්‍රශංසාව හෝ කාරුණිකත්වය වැනි කාරණා හරහා පැනනඟින තවත් අයකු කෙරෙහි දැඩි බැඳීමක් සහිත යහපත් සිතකින් සමන්විත චිත්තවේගයකැයි කිව හැකිය. එසේත් නැත හොත්, ආදරය යනු අන්‍යයන්ගේ යහපත හෝ සුභසාධනය සඳහා දක්වනු ලබන කාරුණික සැලකිල්ලකි. මේ පදය ලිංගික ආකර්ෂණය හෝ වෙනත් කෙනකු කෙරෙහි ඇති කාමුක ආශාව හැඳින්වීමටද භාවිත වේ. තනි පුද්ගල චිත්තවේගයක් ලෙස ආදරය මනෝවිද්‍යාව, ජීව විද්‍යාව සහ ස්නායු විද්‍යාව, මානව විද්‍යාව සහ සමාජ විද්‍යාව ඇතුළු විද්‍යාත්මක විෂයයන් කිහිපයකම ආදරය පිළිබඳ කරන ලද අධ්‍යයන ඇසුරෙන් ගොඩනඟාගත් අදහස් තිබේ.
1960 දී පමණ සී.එස්. ලුවිස් (C.S. Lewis) විසින් රචිත සිව් වැදෑරුම් ප්‍රේමය නැති නම් ද ෆෝ ලව්ස් (The Four Loves) නමැති කෘතියෙහි ආකාර හතරක ප්‍රේමයන් ගැන විස්තර කරයි. එනම්: අගාපේ (Agape), ඊරෝස් (Eros), ෆීලියා (Philia) සහ ස්ටෝගේ (Storge) යන ප්‍රේමයන්ය. මේ වදන් ආදරයේ විවිධ පැතිකඩ විස්තර කිරීමට භාවිත කරන ග්‍රීක වචනය. එහෙත්, ග්‍රීක ඉතිහාසයේ දාර්ශනික මිනිසුන් විසින් ඉහත ආදරයේ ප්‍රභේද 4ට අමතරව තවත් ආදර වර්ග කිහිපයක් ගැන වූ සියුම් කියවීමක් කර තිබේ. මේනියා (Mania), ලූඩ්ස් (ludus), ප්‍රග්මා (pragma), ෆිලව්ටියා (philautia), යනු ඉන් කිහිපයකි.
අගාපේ (Agape) යනු කොන්දේසි විරහිත, පරාර්ථකාමි ප්‍රේමයක් වන අතර, බොහෝ විට දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගයා කෙරෙහි දක්වන ප්‍රේමය ලෙස සැලකේ.
ඊරෝස් (Eros) යනු උද්යෝගිමත් දැඩි චිත්තවේගයන් සහ ලිංගික ආශාවන් ඇතුළත්, හැඟීම්බර ආදරයක් වේ. සේපියන්ස්ලාගේ වර්ගයා බෝ කිරීම පිණිස පෙම්වතුන් එකිනෙකා කෙරෙහි ආසක්ත වන ප්‍රේමය මීට අයත් වේ. එය ප්‍රබල සහ උද්වේගකර බලවේගයක් විය හැකි නමුත් චංචල බවක් මෙන්ම අධික ඉල්ලුමක් දනවන්නක් ද වේ.
ෆිලියා (Philia) යනු ශක්තිමත් මිතුරන් අතර ඇති ආදරණීය ප්‍රේමයයි. සේපියන්ස් ගොයියා පසුගිය ලිපියක සඳහන් කළ ප්ලැටොනික පෙම හෙවත් මිත්‍ර ප්‍රේමය වන්නේ ද මේ ෆීලියා ප්‍රේමයයි. හවුල් අවශ්‍යතා, අන්‍යෝන්‍ය ගෞරවය සහ එකිනෙකා වටා සිටීමට ඇති ආශාව මත පදනම් වූ බැඳීමක් වන අතර, පක්ෂපාතිත්වය, සහයෝගය සහ අනෙක් පුද්ගලයාගේ යහපැවැත්ම සඳහා අව්‍යාජ සැලකිල්ලකින් යුක්ත සදාදරණීය මිත්‍ර ප්‍රේමයයි.
ස්ටෝගේ පෙම (Storge) යනු මවුපියන් සහ දරුවන් අතර ඇති පවුල් (familial love) ප්‍රේමයයි. එය වූකලි ගැඹුරු සම්බන්ධතාවක් සහ හවුල් ඉතිහාසයක් මත පදනම් වූ ස්වාභාවික සහජ ආදරයකි. මනෝවිද්‍යාව අදට අනුව එය පිළිගැනීම, සෙනෙහස සහ පවුලේ සාමාජිකයන්ගේ යහපැවැත්ම සඳහා ඇති ආශාව මත ගොඩනඟන ලද ආදරයකි. සහෝදර සහෝදරියන් එකිනෙකා කෙරෙහි දක්වන ආදරය සහ ඊටත් වඩා දූරස්ථ ඥාති සබඳතා, එනම් ආච්චි මුනුපුරකු හෝ මාමා කෙනකු ලේලිය කෙරෙහි දක්වන ආදරයද ඇතුළත් විය හැකිය.
මේ ස්ටෝගේ පෙම හා සමාන්තරව සහ සමීපව යන මාතෘ ප්‍රේමය, දාරක හෙවත් දරු පෙම, පුත්‍ර ස්නේහය ලෙස ගැඹුරු සහ සුන්දර කියවීම් බෞද්ධ දාර්ශනික විග්‍රහයන්හිද හමු වෙයි. සුද්ධෝදන රජු විසින් පුතු සෙනෙහස මතු කළ යුරු මහාවග්ගපාළියේ “පුත්‍ර ප්‍රේමය සිරුරෙහි සිවිය සිඳියි; සිවිය සිඳ සම සිඳියි; සම සිඳ මස් සිඳියි; මස් සිඳ නහර සිඳියි; නහර සිඳ ඇට සිඳියි; ඇට සිඳ ඇට මිදුලු හැපී පැතිර සිටියි,”ලෙස දක්වා තිබේ.
එසේම, සිංහල සාහිත්‍යයෙහි දසවැනි රසය ලෙස ඇතුළත් වන වාත්සල්‍ය හෙවත් වත්සල රසය ලෙස දක්වන්නේද ස්ටොගේ ප්‍රේමයට අදාළ වූ රසයකි. එනම්: පවුලක බැඳීම ගැන ඇති වන ප්‍රේමනීය රස හැඟීමද ජාතිවාත්සල්‍යය ගැන ඇති වන ප්‍රේමයද එම වත්සල රසය විසින් ප්‍රකාශ කරතැයි පෙනේ.
උන්මාදනීය ප්‍රේමය හෙවත් මේනියා (mania) ප්‍රේමය යනු සිය ආදර සහකරු කෙරෙහි දැඩි උමතු වූ ස්වරූපයෙන් සිදු කෙරෙන ආදරයකි (obsessive love). අනාරක්ෂිත බව එනම් සිය සහකරු/ සහකාරිය තමාට නැතිව යාවිය යන අධික බිය සහ සැකය, ඊර්ෂ්‍යාව දක්වා වර්ධනය වී මනෝව්‍යාධිජනක තත්ත්වයක් බවටද පත් විය හැකි, සෞඛ්‍යයට අහිතකර ප්‍රේම විලාසයකි. තම සහකරුගේ ක්‍රියා සහ සිටින ස්ථානය ආදිය පාලනය කිරීමට හෝ නිරීක්ෂණය කිරීමට අවශ්‍ය ඒකාධිකාරි හැසිරීම් ප්‍රදර්ශනය කළ හැකිය. සිය සහකරු/සහකාරිය තමා අත්හැරීමේ බිය නිසා, එය එසේ නොවන බවට සහතික කිරීමේ දැඩි අවශ්‍යතාව මඟින් අතිශය කනස්සල්ලට පත් බැඳීමකි.
ලුඩස් (ludus) නමැති වදන, ලතින් වදනක් වන අතර, එහි අරුත ක්‍රීඩාව හෝ සෙල්ලම යන්නයි. එය ඉංගිරිසියට වන්නේ Flirting හෙවත් සෙල්ලක්කාර හෙවත් කැප වීමක් නැති මතුපිටින් වන ළෙන්ගතුකමකි. ලිංගිකාශාව හේතු කොට බොරු සෙනේ පෑම, රැවටීම සහ අනියම් ලිංගික ඇසුර පිණිස වන අනියම් පෙම් පළහිලව් (Affairs) වැනි කාරණා අයත් වන්නේ ලූඩ්ස් ප්‍රේමයටය. එහෙත්, සැබෑ මිත්‍රත්වයක් හෝ පෙම්වන්ත යහසබඳතාව (Relationship) ලූඩ්ස් ප්‍රේමය නොවේ.
ප්‍රග්මා (pragma) යනු කිසියම් උපයෝගිතාවක් නිසා නීත්‍යනුකූල බැඳීමක් පදනම් වූ ආදරයකි. සාමාන්‍ය යෝජිත විවාහයන් මෙන්ම, ඉතිහාසය පුරා රජ දරුවන් අතර සිදු වන දේශපාලන එකඟතා මත වන යෝජිත විවාහයන් තුළද හමු වන විනීත ආදරයකි. මේ උපයෝගි ප්‍රේමය ලිංගිකත්වයට හා ප්‍රේමයට වඩා ප්‍රායෝගිකත්වයට මුල්තැන දෙන සබඳතාවකි. පුද්ගලයන් දෙදෙනකු මූල්‍යමය හේතු නිසා එකට ජීවත්ව සිටීම වඩා වැදගත් වන්නේ, එය බිඳී යෑමෙන් ඔවුන් දෙදෙනාටම අහිමි වීමට බොහෝ දේ තිබීම නිසා වීම, මීට කදිම නිදසුනකි. ඒ නිසා මේ ආදරය තුළ කිසියම් වාණිජමය අදහසක්ද තැවරී තිබෙන බව පෙනේ. ඒ අනුව, ප්‍රග්මා ආදරය තුළ පුද්ගලයකු සිය සහකරුගේ ද්‍රෝහිකම ඉවසා සිටීම හෝ නොසලකා හැරීම පවා ඇතුළත් විය හැකිය. දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත රාජකීය විවාහවලදී මෙය සාමාන්‍ය දෙයකි. ප්‍රග්මා ප්‍රේමය බොහෝ දෙනකුට එතරම් ශ්‍රේෂ්ඨ ලෙස නොපෙනෙතත්, ප්‍රග්මා ප්‍රේමය, ලුඩස් හෝ ඊරෝස් වැනි වෙනත් ප්‍රේමයන් බවටද පරිවර්තනය වීමේ ඉඩකඩක්ද පවතී.
ෆිලව්ටියා (Philautia) හෙවත් ස්වයං ප්‍රේමය (self-love) යනු පුද්ගලයකු තමා දෙස බලන ආකාරය සහ ඔවුන්ගේම ශරීරය සහ මනස ගැන ඔවුන්ට හැඟෙන ආකාරයයි. තමා පිළිබඳ ආත්මාභිමානයකින් ජීවත් වීම යහපත් පෞරුෂ ගුණාංගයකි. එහෙත් මෙහි අන්තයන්ට යෑම අයහපත්ය. එනම්: තමා අන් සියල්ලන්ටම වඩා උසස්ය යන හැඟීමෙන්, අන්‍යයන් කෙරෙහි සහකම්පනයක් නැතිව ක්‍රියා කිරීම නරකය. එසේම, තමා අන් අයට වඩා පහත් ලෙස හීනමානයෙන් පෙළීමද වරදකි.
මේ ගැන වූ බෞද්ධ දාර්ශනික අදහසද සමානය. සෙය්‍යමාන, සදිසමාන හා හීනමාන ලෙස පුද්ගලයකුගේ මානය හෙවත් තමා ගැන දරන ආකල්පය ගැන එහි කියවෙයි. ‘සෙය්‍යමාන’ යනු සිය ධනය බලය, නිලය හෝ උගත්කම අනුව තමා අන් සියල්ලට වඩා උසස්යැයි සිතා, අන් අය ගැන සහකම්පනයකින් තොරව කටයුතු කිරීමය. ‘සදිසමාන’ යනු තමා අන් අය හා සමානව සිතීමය. ‘හීනමාන’ යනු තමා අන් අයට වඩා පහත්ය යන සිතිවිල්ලෙන් කටයුතු කිරීමය. එහෙත්, නිහතමානිකම හීනමානය හෝ නිවටකම ද නොවන බව දාර්ශනික කියවීමය. ඒ අනුව මේ ෆිලව්ටියා හෙවත් ස්වයං ප්‍රේමයෙහි වූ ද්විත්ව ස්වරූපය පෙන්නුම් කරන්නේ ආදරය, ස්වයං ආදරය පවා බොහෝ විට ඉතා සංකීර්ණ විය හැකි බවය.