
නින්ද නොයන බයෝ පන්තියේ නිර්මාතෘ විදියට කවුරුත් ආදරය කරන දිනේෂ් මුතුගල සර් ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. අද අපේ කතා නායකයා ඔහු. මෙතෙක් කාලයක් වයස් භේදයකින් තොරවම දිනේෂ් මුතුගල සර්ගේ පාඩම් සමාජ මාධ්‍යය ඔස්සේ අහපු බලපු හැමෝටම දැන් සිනමාව ඔස්සේ ද දිනේෂ් මුතුගල දැක ගන්න පුළුවන්. ඒ මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂණය කළ සූර්යා චිත්‍රපටය හරහා. සූර්යා හි නිෂ්පාදක මෙන්ම එහි එන පොලිස් භූමිකාව නිරූපණය කරමින් සිනමා ප්‍රවේශය ලබා ගන්නා දිනේෂ් මුතුගල සමඟයි මේ කතා බහ.
සූර්යා හරහා ඔබ සිනමාවට ප්‍රවේශය ලබා ගන්නවා නේද?
මම ගුරුවරයෙක් විදියට යම් භූමිකාවක් දිගේ මෙතෙක් කාලයක් ආවා. ඒ කාලයේ මගේ ජිවිතේ තිබුණ එක ආශාවක් ඉෂ්ට කර ගන්න බැරි වුණා. ඒ ආසාව තමයි කවදා හරි නළුවෙක් වෙනවා කියන එක. ගුරු භූමිකාව කියන්නේ විශේෂ කැපකිරීමක් කරලා කරන්න ඕනේ එකක්. ඒක තාමත් මම ඒ විදියටම කරනවා. නමුත් මට ලැබෙන විවේකය මම ප්‍රයෝජනයට ගත්තා මේ නිෂ්පාදනය කරන්න සහ එහි යම් චරිතයක් මගේ ආසාව සංසිෙඳන්න කරන්නත්. ඒ හැර වෘත්තිමය නළුවෙක් වෙන්න නම් කිසිම වෙලාවක බලාපොරොත්තුවක් නැහැ.
රඟපෑම ද ලේසිද ගුරු වෘත්තියට වඩා?
මම නම් දකින්නේ දෙකම ආමාරුයි කියලයි. මේ වෘත්තීන් දෙකම කැපකිරීමෙන් සහ හැදෑරීමෙන් යුතුව කරන්න ඕනේ. මම පාසල් වේදිකාවේ හිටිය නළුවෙක්. රාජ්‍ය සම්මාන අරන් තියෙනවා. ඒ නිසා රංගනය ගැන යම් දැනුමක් මට තිබුණා. ගුරුවරයෙක් වෙන්න ඕනේ දැනුම මම විශ්වවිද්‍යාලයෙන් ගත්තා. ඒ දෙකම කැප කිරීමෙන් කළ යුතුයි. එහෙම නැත්නම් මිනිසුන්ට දැනෙන්නේ නැහැ. ප්‍රේක්ෂකයින් කොයි විදියට භාර ගනීද කියන එක ඉස්සරහට බලන්න ඕනේ.
ඔබත් මේ සමාජ මාධ්‍ය අතික්‍රමණය කරමින් ආව කෙනෙක් නිසාමද, මෙවැනි පිටපතක් මුල්ම නිෂ්පාදනයට තෝරා ගත්තේ?
බොහෝවිට ඔව්. ටියුෂන් ක්ෂේත්‍රය නිසා මගේ ජීවිතේට බොහෝ දේ ලැබුණා. ඒ වගේම මට බොහෝ දේ ලැබුණා මේ සමාජ මාධ්‍යය නිසා. සමහර අයට බොහෝ දේ අහිමි වෙන්නෙත් මේ සමාජ මාධ්‍යය නිසා. හේතුව සමාජ මාධ්‍ය හරියට පාවිච්චි කළේ නැත්තම් තියෙන දේත් අහිමි වෙනවා. හැබැයි හරි විදියට පාවිච්චි කළොත් තමන්ට තිබ්බේ නැති හැම දේම ගන්න පුළුවන්. ඒ නිසා මම බැලුවා තිබ්බ දේවල් ඔක්කොම නැති වෙලා පස්සේ හැම දේම ලැබෙන කතාවක් නිසා මම හිතුවා මේ පිටපත හොඳයි සමාජ මාධ්‍යයට ස්තුතිවන්ත වෙන්නත් එක්ක මේ පිටපත නිෂ්පාදනය කරන එක කියලා. එහෙම නැතුව මේ පිටපත මම කියලා ලියවා ගත්ත පිටපතක් නෙවෙයි. අහම්බෙන් මට ලැබුණු පිටපතක්. ඒක සාර්ථක කර ගන්න පුළුවන් වුණා.
චිත්‍රපටයේ එන පොලිස් චරිතේ දෙබස්, දිනේෂ් මුතුගල සර්ගේ කතාවන් වගේමයි කියලා හිතුණා. ඒ දෙබස් ඒ විදියටම පිටපතේ තිබුණද? එහෙම නැත්නම් ඔබේ දෙබස් ඔබ ඔබේ හැඩයට වෙනස් කර ගත්තද?
ඒ දෙබස් පිටපතේ තිබ්බ දෙබස්ම තමයි. ඒ හැර මම පණ්ඩිත වුණේ නැහැ මේ නිර්මාණය වෙනස් කරන්න. නිර්මාණයක් ඇතුළේ නිර්මාණවේදියාගේ හැඟීම්නේ එළියට දාන්නේ. ඒ නිසා මම ඒ දේ වෙනස් කරන්න ගියොත් මෙහි ජීව ගුණයට හානි වෙන්න පුළුවන්. තිබුණ දෙබස්ම තමයි. හැබැයි එක දෙයක්, ටියුෂන් වේදිකාව ඇතුළේ අපිට ළමයින්ව නොමඟ යවන කතා කියන්න බැහැනේ. ඒ නිසා පන්තිය තුළ යන කතාත්, මේ චිත්‍රපටයේ එන යුක්තිගරුක පොලිස් නිලධාරියාගේ වචනත් සමාන විදියට දැනෙනවා වෙන්න පුළුවන්. දෙකම යුක්ති සහගතයි. ඒ හැර මගේ මැදිහත් වීමෙන් මම කිසි දෙයක් වෙනස් කරලා නැහැ.
මින් ඉදිරියටත් වෙනයම් නිර්මාණයක, ගරු රඟපෑමකට හෝ චරිතෙකට ඇරයුම් ලැබුණොත් භාර ගන්නවද?
මෙහෙමයි. ඉදිරියටත් මම රඟපෑම අතහරින්නේ නැහැ. ඒ චරිතේ මගේ සැබෑ චරිතෙට කැළැලක් නොවෙන දෙයක් නම් හෝ සමාජයට අවැඩක් නොවෙන දෙයක් නම් ඒ නිර්මාණය දිහා මම සුබවාදීව බලයි. ඉදිරියටත් සිනමා නිර්මාණ නිෂ්පාදනය කරන්නත් මම අදහස් කරගෙන ඉන්නවා. මේ වෙද්දීත් ඊළඟ සිනමා නිර්මාණයේ වැඩ කටයුතු කරමින් ඉන්නවා.
අවසාන වශයෙන් සිනමා රසිකත්වයට මොන වගේ ඇරයුමක් ද කරන්නේ
මම කියන්නේ ඔබ මේක ඇවිත් බලන්න. මේ තුළ තියෙන්නේ පවුලේ ඇතුළේ විස්තරයක්. අම්මා තාත්තා ඇතුළේ තියෙන බැඳීම. දරුවන් කොහොමද මවුපියන් දිහා බලන්නේ සහ මවුපියන් කොහොමද දරුවන් දිහා බලන්නේ කියන එක වගේම තමන්ට ආදරේ කරන කෙනාගේ උදවු කොහොමද ගන්නේ, එයාව කොහොමද හසුරුවන්නේ කියන එක මේ තුළ තියෙනවා. මේවානේ සමාජයේ පවා තියෙන මාතෘකා. ඔබ ඔබේ ජයග්‍රහණයට මෙහෙයවන ඕනෙම දෙයක් ඔබේ පවුලට හානියක් නොවී කොහොමද කරන්නේ කියන එක මනාව මේ තුළින් පැහැදිලි වෙනවා. මේක සමහරවිට ඔබේ දරුවාගේ කතාව වෙන්න පුළුවන්. මේක ඔබේ පියාගේ කතාව වෙන්න පුළුවන්. මේ තුළ එක ක්ෂේත්‍ර නියෝජනය වෙනවා. අද වෙනකම් සිනමාශාලාවට පය නොතබපු කෙනෙක් නම් ඔබ, ඔබත් එන්න. සිනමාශාලාවේ දී චිත්‍රපටයක් බලද්දී දැනෙන විදිය වෙනස්. ඔබට දැනෙන දේ සමාජ මාධ්‍යය තුළම ලියන්න.