ජනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් අතුළත් කර ගැනීමට අදාළව පත් කරන ලද කමිටුව සිය නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.
කමිටුව පත් කෙරුණේ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු තීරණයකට අනුවයි.
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා කමිටුවේ සභාපතිවරයා ලෙස ක්‍රියා කරනවා.
අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාතාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් කමිටුවේ සෙසු සාමාජිකයින්.
මෙම කමිටුව ජනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධව නිර්දේශ 10ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව එක් වර්ෂයක් සඳහා එක් වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමක් පමණක් ඇතුළත් කරගත යුතුයි.
එක් වර්ෂයක් සඳහා වෛද්‍ය පීඨයට ඇතුළත් කරගනු ලබන සමස්ත වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව 150කට සීමා වන අතර ගෙවීමේ පදනම මත ඇතුළත් කරගනු ලබන දේශීය සිවිල් වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව උපරිම වශයෙන් 100ක්.
වෛද්‍ය සිසුන් ඇතුළත් කර ගැනීමේදී පුමුඛතාව ලබා දෙන්නේ හමුදා සිසුන්, විදේශීය සිසුන් හා දේශීය සිසුන් යන අනුපිළිවෙළටයි.
විශ්ව විද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලය විසින් තීරණය කරනු ලබන පරිදි වෛද්‍ය සිසුන් ඇතුළත් කර ගැනීමේ නිර්ණායකයක් වශයෙන් එකයි දශම හතරයි බිංදුවයි බිංදුවයි බිංදුවක් හෝ ඊට ඉහළ අවම Z අගයක් පවත්වා ගැනීමට කටයුතු කෙරෙනු ඇති.
කොතලාව ආරක්ෂක විද්‍යාපීඨයට සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් ඊයේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද අදහස් පළ කළා.

