
ජනාධිපති පොදු සමාවට මුවාවී අනුරාධපුර බන්ධනාගාරයේ සිටි සිරකරුවකු නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළා.
ඒ අනුව සැකකරු රුපියල් 25000/- ක් මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත් වරිය සැකකරුට දිවයිනේ බන්ධනාගාර වලට ඇතුළු වීමද තහනම් කෙරුණා.
ඊට අමතරව විදේශ ගමන් තහනමක්ද පැනවුණු අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කෙරුණා.
මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණය කරුණු දක්වමින් ඉකුත් වෙසක් දින නීති විරෝධී ආකාරයෙන් ජනාධිපති පොදු සමාවට මුවා වී නීති විරෝධී ලෙස නිදහස් කළ රැඳවියා ජනාධිපති සමාව මත නිදහස් කළ බවට අනුරාධපුර මහාධිකරණයට සහ අධිකරණ අමාත්‍යංශයට වැරදි තොරතුරු ඇතුළත් ලේඛන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරු පිළිබඳව විමර්ශන සිදුකළ බව පැවසුවා.
එම විමර්ශනවලදී පසුගිය වෙසක් දින නීත්‍යානුකූල ලේඛනවල ඇතුළත් නොවූ අනුරාධපුර බන්ධනාගාරය ඇතුළු බන්ධනාගාර හතරක සිරකරුවන් 09 දෙනෙකු නිදහස් කර ඇති බවට කරුණු අනාවරණය වූ බවත් එම නිලධාරියා පැවසුවා.
ඊට අමතරව පසුගිය කාලයේ අවස්ථා තුනකදී නීති විරෝධී ආකාරයට පොදු සමාවට මුවාවී සිරකරුවන් 212 දෙනෙකු නිදහස් කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයිද ඔහු සඳහන් කළ සිටියා.
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරු නිදහස් කිරීම සම්බන්ධයෙන් අවස්ථා කීපයකදී මෙම සැකකරු අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා සිය මූලස්ථානයට ගෙන්වාගෙන සාකච්ඡා කර ඇති බවත් ඊට අදාළ සමීප ආවේෂණ දර්ශන ලබාගෙන විමර්ශන සිදුකිරීමට අවශ්‍යව තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීවරයා පැවසුවා.
මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමේදී ඇතැම් බන්ධනාගාර නිලධාරීන් හා කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් මැලිකමක් දක්වන ආකාරය පෙනී ගිය බවත් බොහෝ ප්‍රශ්නවලට ඔවුන් “මතක නෑ.” යනුවෙන් පිළිතුරු ලබා දෙන බව පෙනි ගොස් ඇති බවත් ඔහු කියා සිටියා.
ඒ අනුව මෙම සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවොත් ඉදිරි විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයා මේ වන විට මාසයකට ආසන්න කාලයක් රිමාන්ඞ් භාරයේ පසුවන බවද ඔහු කිසිදු සාක්ෂිකරුවකුට බාධා කර ඇති බවට පැමිණිලි ඉදිරිපත් වී නොමැති බවත් කියා සිටියා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ඉදිරිපත් කළ කරුණු වලට අනුව දැන් ඉතිරිව තිබෙන්නේ තාක්ෂණික කාරණා සම්බන්ධව පරීක්ෂණ බවත් ඊට මැදිහත්වීමට තම සේවා දායකයාට හැකියාවක් නොමැති බව පැවසූ ජනාධිපති නීතිඥවරයා මෙම සිද්ධියට අදාළව තම සේවාදායකයා කිසිදු කුමන්ත්‍රණයකට සම්බන්ධ බවට සාක්ෂි හෙළිවී නොමැති බවත් කියා සිටියා.
පසුගිය නඩු වාරයේදී හිටපු අමාත්යය වරයෙකු වන මිල්රොයි ප්‍රනාන්දුගේ මරණීය දණ්ඩනය ලබා සිටි බිරිඳ ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු සම්පූර්ණයෙන්ම වැරදි සහගත බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
2008 වසරේ එවක ජනාධිපතිවරයා විසින් නිකුත් කළ චක්‍රලේඛකයට අනුව මරණීය දණ්ඩනය ලබා සිටි කාන්තාවන්ගේ දඬුවම ජීවිතාන්තය දක්වා අඩු කෙරුනු බව පැවසූ ජනාධිපති නීතිඥවරයා පසුව බිනර පොහොයදා එම ජීවිතාන්ත සිර දඬුවම වසර 20 දක්වා අඩු කෙරුණු බවත් කියා සිටියා.
ඉන් පසුව එළඹුණු කාන්තා දිනය දා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි කාන්තාවන් ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරුණු අතර ඉන් පසුව එම දඬුවමට එරෙහිව එම තැනැත්තිය ඉදිරිපත් කර තිබූ ඇපෑල අභියාචනාධිකරණයෙන් ඉවත් කර ගත් බවත් ඔහු කියා සිටියා.
මෙම සිද්ධිය වූ අවස්ථාවේ මෙම සැකකරු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා වශයෙන් කටයුතු නොකළ අතර ඔහු එම තනතුරට පත්වුණේ පසුගිය 2021 වසරේ බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙම සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත නොකොට ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලා සිටියා.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් කරුණු අධිකරණයට ඉදිරිපත් වී නොමැති හෙයින් ඔහු ඇප මත මුදාහරිණ බව නියෝග කළා.
ඉන් අනතුරුව නඩුව නොවැම්බර් මස 20 වනදා කැඳවීමටද නියම වුණා.