
ශිෂ්‍ය සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ හෙළි කෙරෙන 2024 වසරට අදාළ ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණයෙන් අනාවරණය වන තොරතුරු මෙරට අනාගත පරපුරේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සතුටුදායක ඒවා නොවේ. 2016 වසරේ පැවැති සමීක්ෂණයේ දත්තවලට සාපේක්ෂව ආහාර පරිභෝජන රටාව සහ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් සැලකිය යුතු වෙනස්කම් සිදුව ඇති බව මෙවර සමීක්ෂණයෙන් නිරීක්ෂණය වේ.
විශේෂයෙන් මෙරට වයස අවුරුදු 13-17ත් අතර පාසල් දරුවන් අතර මන්දපෝෂණය සහ අධි පෝෂණ තත්ත්වයේ ඉහළ යෑමක් පෙන්නුම් කර අතර, එම වයස් කාණ්ඩයේ දරුවන් 21.4%ට උසට සරිලන බර නොමැත. 12.1%ක් නියමිත බරට වඩා බරෙන් යුතු අතර, 3.0% ක් තරබාරු බවින් යුක්තය. සිසුහුන් 10.9%ක් වයසට සරිලන උස නැති වූවෝය.
ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන පවසන්නේ මෙරට සිදු වන මරණවලින් 83%කට හේතුව දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදයාබාධ සහ පිළිකා ආදි බෝ නොවන රෝග බවත්, අහිතකර ආහාර රටාව, ව්‍යායාම නැති වීම, දුම්වැටි සහ මත්පැන් පානය සහ මානසික ආතතිය ඊට හේතු වන බවත්ය. වැඩිහිටි වියේදී මතු වන මේ රෝගි තත්ත්වයන්ට පසුබිම සැකසෙන්නේ ළමා වියේ සිටම බව බොහෝ දෙනකු නොසලකා හරින කරුණක් බව අමතක නොකළ යුතු බවත් සරලව කිවහොත් කායික, මානසික වශයෙන් නීරෝගි පුරවැසියකු බිහි කිරීමේ පදනම සැකසෙන්නේ ළමා වියේ සිටම බවත් ඇය අවධාරණය කරන්නීය:
“දැරියක් වැඩී විවාහ වී මවක් බවට පත්වන කාලය වන විට ඇය උසට සරිලන බර නැත්නම්, නීරක්තිය හෙවත් ලේ අඩුකමින් පෙළෙනවා නම් ඇයගේ කුසේ වැඩෙන කලලයේ වර්ධනය මුල් මාස කිහිපයේදීම අඩු පෝෂණ මට්ටමක, කිසියම් පීඩනයක් යටතේ සිදු වීම නොවැළැක්විය හැකි තත්ත්වයක්. එහි ප්‍රතිඵලයක් ලෙස අඩු උපත් දරුවකු බිහි වීමේ අවදානම ඉහළ යන අතර, එවැනි දරුවන් බෝ නොවන රෝග අවදානම සහ මන්දපෝෂණ අවදානම ද ඇතිව උපත ලැබිය හැකියි. ඒ වගේම වර්තමානයේදී නිසි බර සහිතව උපත ලැබූ දරුවන්ද පසුකාලීනව ඌන පෝෂණයට සහ අධි පෝෂණයට ලක් වීමේ අවදානමක් තිබෙනවා. ඒ කියන්නේ, නිසි අයුරින් ආහාර නොගැනීම නිසා කෙට්ටු සිරුරක් (උසට සරිලන බර නොමැති (BMI)) වගේම පමණට වඩා පිටි, සීනි, ලුණු සහ තෙල් සහිත ආහාර ගැනීම නිසා මහත්වූ ශරීර (උසට සරිලන බරට වඩා වැඩි බරක් සහිත) ඇති දරුවන් ද දක්නට ලැබෙනවා. මෙවැනි තත්ත්වයකට හේතු වන්නේ අපේ ජීවිත රටාවේ පවතින අඩුපාඩු එනම්, නිසි පෝෂ්‍යදායී ආහාරපාන නොගැනීම, අවශ්‍ය පමණට ජලය පානය නොකිරීම, දිනපතා ව්‍යායාම නොකිරීම, මානසික ආතතිය ආදී කරුණු. ළාබාල වියේ සිට එවැනි පුරුදුවලින් ඈත් වී යහපත් ජීවන රටාවකට හුරු වන්නේ නම් වැඩිහිටි විය සෞඛ්‍ය සම්පන්නව ගත කළ හැකියි.”
එහෙත් කාර්යබහුල ජීවන රටාව මෙන්ම තරගකාරි අධ්‍යාපන රටාව තුළ දරුවන්ගේ සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බව ඉහත සෞඛ්‍ය සමීක්ෂණයෙන්ද හෙළි වේ. විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන පවසන්නේ දරුවන්ගේ සෞඛ්‍ය පිරිහීමේ වගකීම මවුපියන් ඇතුළු වැඩිහිටියන්ට පැවරෙන බවය:
විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන දරුවන්ගේ නීරෝගි බවට වැට බඳින තවත් කරුණක් ලෙස පෙන්නා දෙන්නේ දරුවන්ට ව්‍යායාම් කිරීමට සහ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නැති වීමත් තරගකාරි අධ්‍යාපන රටාව තුළ පෙර පාසල් අවධියේ සිටම ඔවුන් මානසික ආතතියට ලක්වීමේ අවදානමත්ය.
සමවයස් දරුවන්, වැඩිහිටියන් සහ ඥාතින් ඇසුරු නොකරන දරුවන්ගේ මනෝ සමාජීය වර්ධනය අඩාළ වනවා. ක්‍රීඩා නොකරන ව්‍යායාම නොකරන දරුවන් කලහකාරී, ආවේගශීලි, ආත්මාර්ථකාමීන් බවට පත්වීමේ වැඩි ඉඩක් තිබෙනවා. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ මවුපියන්, වැඩිහිටියන් දරුවන්ට ආදරය පෙන්වීමට කරන ඇතැම් ක්‍රියා ඔහුගේ සෞඛ්‍යයට බරපතළ හානි සිදු කරන බවය. එසේ නම් සැබෑ ලෙසම දරුවාට ආදරය කරන මවුපියන්, වැඩිහිටියන් කළ යුත්තේ මොනවාද? යන පැනයට විශේෂඥ වෛද්‍යවරිය මෙසේ පිළිතුරු දුන්නාය:
“දරුවාට කුඩා වියේ සිට නිසි පෝෂණයක් දිය යුතුයි. ධාන්‍ය, අල, බතල, එළවළු, පලතුරු, මාළු, කිරි, බිත්තර ආදි ස්වාභාවික ආහාර සහ නිවෙසේ පිළියෙල කරගත් පිරිසිදු ආහාරපානවලට මුල්තැන දිය යුතුයි. කෘත්‍රිම ආහාරාපන හැකිතරම් දරුවන්ගෙන් ඈත් කළ යුතුයි. දිනපතා පැයක්වක් සෙල්ලම් කිරීමට සහ ව්‍යායාම් කිරීමට ඉඩ හරින්න. පිපාසයට නොව පුරුද්දක් ලෙස ජලය පානය කිරීමට කුඩා කල සිට දරුවන් පුරුදු කරන්න. පැණි බීම සහ කෝලා වර්ග වෙනුවට තැඹිලි, බෙලිමල් වැනි ස්වාභාවික පානවලට හුරු කරන්න. කායික සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍යයත් ඉතා වැදගත් වන නිසා මානසික ආතතියෙන් තොර පරිසරයක් නිවෙස තුළ පවත්වාගෙන යෑමට වගබලා ගන්න. මවුපියන්, වැඩිහිටියන් සමඟ සුහද සම්බන්ධතා ගොඩනඟා ගැනීමට සුදුසු පරිසරයක් ඇති කිරීමට උත්සුක වන්න. දරුවාගේ පෞරුෂය තීරණය වන්නේ කුඩා කල නිවසේදී ගොඩනැඟෙන පරිසරය අනුව බැවින් අනාගතයේදී දුම්වැටිවලට හා මත්පැන්වලට දරුවා ගොදුරු නොවීමේ වගකීම මවුපියන්ගේ චර්යා රටා මත තීරණය වන බව අමතක නොකරන්න. රූපවාහිනිය, පරිගණකය ආදියට ඇබ්බැහි වීමට දරුවාට ඉඩ නොදිය යුත්තේ මොළයේ සංවර්ධනයට මේ ඇබ්බැහිවීම් අතිශය භයානක වන නිසයි.”
දරුවන් සම්බන්ධයෙන් ඉහත කී යහ-පුරුදු අනුගමනය කිරීමෙන් බෝ නොවන රෝගවලින් අපේ දරු පරපුර ආරක්ෂා කරගත හැකිය. ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන පවසන්නේ වසර 2021 බෝ නොවන රෝග පිළිබඳ අවදානම් සාධක හඳුනාගැනීමේ සමීක්ෂණයට අනුව වයස අවුරුදු 18-69 අතර කාණ්ඩයේ 54%ක් අධිරුධිර පීඩනයෙන්ද, 14%ක් දියවැඩියාවෙන්ද, 30%ක් පමණ පූර්ව දියවැඩියාවෙන් එනම්, දියවැඩියාව හැදෙන්න ඔන්න මෙන්න තත්ත්වයෙන් සිටින බවයි. මේ සඳහා බලපාන හේතු ගැන ද විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන අනාවරණය කළාය:
“අපේ රටේ ගෘහිණියන්ගෙන් 50%ක් පමණ බතට ලුණු එක් කරනවා. මෙය ඉතා නරක පුරුද්දක්. දවසකට එක් පුද්ගලයකුට අවශ්‍ය ලුණු ප්‍රමාණය තේ හැඳි 1ක් හෝ ග්‍රෑම් 5ක් පමණයි. කුඩා දරුවකුට නම් එයින් අඩයි. එහෙත් බොහෝ දෙනෙක් දවසකට ලුණු තේ හැඳි 2-3ක් ආහාරයට එක්කර ගන්නවා. වයස අවුරුද්දක් ගතවන තුරු ලුණු සහ සීනි ළදරුවන්ගේ ආහාරවේල්වලට එක් නොකරන්නැයි වෛද්‍යවරුන් උපදෙස් දෙන්නෙ අධික ලුණු පරිභෝජනය නුසුදුසු නිසයි. වැඩිපුර ලුණු ආහාරයට ගැනීම රුධිර පීඩනය වැඩි වීමට හේතුවක්. කුඩා කල සිට අධික ලුණු පරිභෝජනයට පුරුදු කිරීමෙන් අපේ දරුවන්ට අනාගතයේදී අධි රුධිර පීඩනය, වකුගඩු රෝග, පිළිකා හදන්න පාර කපන්නේ මවුපිය, වැඩිහිටි අපමයි නේද?
“ඒ වගේම දවසකට එක් පුද්ගලයකු සඳහා නිර්දේශ කරන්නේ සීනි තේ හැඳි 6ක් පමණයි. ඊට වඩා වැඩිපුර ගත් විට ඒ සියල්ලේම බර දරන්නට වන්නේ අපේ අග්න්‍යාශයටයි. පැණි රස කෑම, පිරිපහදු කළ පිටිවලින් තැනූ ආහාර නිතර ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑම පාලනය කිරීමට වැඩි වශයෙන් ඉන්සියුලින් නිපදවීමට අග්න්‍යාශයට සිදු වෙනවා. කුඩා කාලයේ සිට මෙසේ වැඩිපුර සීනි ආහාරයට ගත්තොත් අග්න්‍යාශය ඉක්මනින්ම දුර්වල වෙලා ඉන්සියුලින් නිපදවන ක්‍රියාවලියට බාධා පැමිණවීම නිසා ඉන්සියුලින් අඩු වනවා. එවිට රුධිරයේ සීනි මට්ටම නිසි අයුරින් සිදු වන්නේ නෑ. දියවැඩියාව ඇතිවන්නේ එවිටයි.”
මේ තත්ත්වය වළක්වාගැනීම සඳහා ලුණු, තෙල්, පිටි සහ සීනි අධික ආහාරවලට ඇති ඇබ්බැහි වීම වළක්වා ගත හැකි අතර, මාසයක් දෙකක් යන විට එම ඇබ්බැහියෙන් මුදාගත හැකිය. උදාහරණයක් විදිහට: බතට ලුණු එක් කිරීමට පුරුදුව සිටින ගෘහිණියක බතට එක් කර ලුණු ප්‍රමාණය ටිකින් ටික අඩු කර සති 2-3ක් ඇතුළත ලුණු එකතු නොකරම බත පිසගැනීමට හුරු විය හැකිය. එමෙන්ම, පලතුරු ආහාරයට ගන්නා විට ලුණු එකතු නොකර, පලතුරවල නැවුම් රසයට දිව හුරු කරගන්න. පැකට් කළ ආහාරවල ලේබලයේ ඇති ලුණු, තෙල් සහ සීනි අඩංගු ප්‍රමාණය පිළිබඳ සඳහන් ලේබලය ගැන දැනුම්වත් වීමද ඉතා වැදගත් බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන අවධාරණය කරන්නීය.

“අර්ධ ඝන සහ ඝන ආහාර පැකැට්වල ලේබලයේ රතු ලාංඡන එකක් හෝ වැඩි ගණනක් ඇති ආහාර, භාවිතය හැකි තාක් අවම කරන්න. ඒ වගේම ලේබලයේ රතු ලාංඡන නැති වුවත්, කහ ලාංඡන එකක් හෝ වැඩි ගණනක් ඇති ආහාර භාවිතයද හැකි තාක් අවම කරන්න. එවැනි ආහාර භාවිතය හෘද රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග වැලඳීමට අධි අවදානමක් ඇති කරනවා. ආහාර ලේබල්වල රතු වර්ණයෙන් ඒ ආහාරයේ අඩංගු සීනි ප්‍රමාණයත්, කහ වර්ණයෙන් ලුණු ප්‍රමාණයත්, කොළ වර්ණයෙන් මේද ප්‍රමාණයත් දැක්වෙනවා. මේ ගැන ඔබත් දැනුම්වත් වී, දරුවන්ද දැනුම්වත් කරන්න. ඒ වගේම, ඔබ ගෘහිණියක් නම් දවසකට අවශ්‍ය ලුණු ප්‍රමාණය කැපූ තේ හැඳි එකක් නිසා හතර දෙනකු සිටින නිවෙසක ආහාර පිළියෙල කරන විට උදෑසන ආහාර පිළියෙල කිරීමට පෙර වෙනම බඳුනකට ලුණු තේ හැඳි 4ක් දමාගෙන ආහාර පිසගැනීමට ඒ ප්‍රමාණය පමණක් එදින තුළ භාවිත කිරීමද කළ හැකියි. ඒ වගේම, ආහාර පිසීමේදී කෘත්‍රිම රසකාරක වෙනුවට ගොරකා, ඉඟුරු, සුදුලූනු සියඹලා, කුරුඳු, කරදමුංගු, කරාඹුනැටි, තුනපහ, කහ ආදි දේශීය ස්වාභාවික රසකාරක යොදාගත හැකියි. කුඩා කල සිටම දරුවන් ස්වාභාවික රසයන්ට හුරු කිරීමත් පැණි බීම සහ අධික පැණි රස ආහාර වෙනුවට එළවළු සහ පලතුරු ආහාරයට පුරුදු කිරීමත් ඉතා සුදුසුයි.”