ඔටිසම්වලට ප්‍රතිකාර සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර

ඔටිසම් තත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙලෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට නියමිතයි. ඒ පිළිබඳ ඒකාබද්ධ සැලැස්මක සංකල්පීය යෝජනාව සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ ජනාධිපති අනුර කුමා‍ර දිසානායක මහතාගේ සංකල්පයකට අනුවයි. ප්‍රජා ශක්ති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් මේ පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා. වැඩසටහන ඊට අදාළ රේඛිය අමාත්‍යාංශ සහ ආයතන මගින් ක්‍රියාත්මක කෙරෙන අතර, සම්බන්ධීකරණ කටයුතු සිදුකරන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයයි. මෙවර අය වැයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට වෙන්කර ඇති ප්‍රතිපාදන වලින් රුපියල් මිලියන 250 ක ප්‍රතිපාදන යළි භාණ්ඩාගාරය වෙත පවරා ‍ගෙන සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබාදීම, අදාළ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මානව සම්පත් සංවර්ධන සැලැස්මක් සකස් කිරීම, ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.

ඊට අමතරව මෙම වැඩසටහන රේඛිය අමාත්‍යාංශ සහ අදාළ අනුබද්ධිත ආයතන සම්බන්ධකර ගනිමින් ක්‍රියාත්මක කිරීමට විද්‍යාත්මක පසුබිමක් සහිත නව මොඩලයක් සකස් කිරීම ඇතුළු කරුණු පිළිබඳවද අවධානය යොමු කෙරුණා. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේ අදාළ කරුණුවලින් සමන්විත යාන්ත්‍රණයක් සකස් කිරීමේ සංකල්පීය යෝජනාව සති දෙකක් ඇතුළත සම්පාදනය කරන ලෙසයි. ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.