
නිවෙසේ ආලින්දයට ගුවන් විදුලිය එන්නට පෙරාතුව, මැද කාමරයට රූප පෙට්ටිය එන්නට පෙරාතුව, නගරයේ සිනමාශාලාවට සිනමාපට එන්නට පෙරාතුව, අපේ සිත් සතන් සැනසුවේ නාට්‍ය කලාවයි. මේ රටේ නාට්‍ය කලාව ගැන කතා කරන විට එක්තරා විශිෂ්ට යුගයක් සනිටුහන් කළේ ටවර්හෝල් නාට්‍ය කලා යුගයයි. ඉන් වේදිකාරූඪ වූ “නළු නිළි” පරපුර අපේ මනසට ගෙනදුන් ආගමික පුනරුදය, ජාතික සංහිඳියාව, නිදහසේ පුනරුත්පත්තිය, ශ්‍රී ලංකාවාසී සිංහල, දෙමළ, මුස්ලිම් ජන විඤ්ඤාණය ඔපවත් කරමින් ඇති කළ පුනරුදය අදත් අපට කිසිසේත් බැහැර කරන්නට නොහැකිය. ඒ පුනරුද යුගයේ අපට අමතක කරන්නට නොහැකි චරිතයකි ටවර්හෝල් නාට්‍ය ශිල්පි කේ.ඒ. එඩ්වින් පෙරේරා මහතා. ඔහුගේ 53වැනි ගුණසමරුව මේ මස 26දාට යෙදී ඇත.
වයස අවු. 12ක ළමයකු වශයෙන් මුලින්ම සහෝදරයා හමුවීමට ටවර් රංග ශාලාවට ප්‍රවිෂ්ට වන අපේ කතානායකවරයා ඒ ගමන සිහිපත් කරන්නේ මෙසේය.
“වර්ෂ 1926 සහෝදරයා බැලීමට ටවර් ශාලාවට පැමිණි මට එහිම නතරවන්නට සිදුවූයේ කුඩා ළමුන්ගේ නැටුම් දැකීමෙනි. ළමයින්ගේ නැටුම් පුහුණුව බල බලා අයියා ළඟින් සිටි මා බුටාබායි නමැති ගුරුවරයා දැක අයියාට කියලා මාව ඒ කණ්ඩායමට ඇතුළු කරවා ගත්තේය. ළමයකුගේ අඩුවට ‘භූරිදත්ත’ නාට්‍යයේ නැටුම්වලින් පළමුවෙන්ම වේදිකාවට පිවිසුනෙමි.”
බලිවාලා වික්ටෝරියා පාර්සි නාට්‍ය සංගමයේ නැටුම් ඇදුරකු වූ ඉන්දීය කලාකරුවකු වන බුටාබායි කලාකරුවා එදා මෙතුමාගේ කලා හැකියාව දුටුවනින්ම හැඳිනගෙන ආර්ය සිංහල නාට්‍ය සභාවේ ඒ දිනවල ඔහු නැටුම් ඉගැන්වූ තරුණ ළමා සමූහ නළු කණ්ඩායමටද (1927-1930) බඳවාගෙන කතකාලි, මණිපුරි, භරත වැනි නාට්‍ය නෘත්‍ය ශිල්ප උගන්වා භූරිදත්ත නාට්‍යයෙන් කරලියට පත්කළ මේ දරුවා පසුකලෙක ඇද වැටී තිබුණු ආර්ය සිංහල නාට්‍ය සභාව ගොඩනංවා එයට පුනර්ජීවය ලබාදී පැරැණි නළු නිළි පරපුරට ඉමහත් සේවයක් කරාවී යැයි ඔහු පවා එදා නොසිතන්නට ඇත.
ළමා සමූහ නාට්‍ය කණ්ඩායමට 1926දී එක්වූදා පටන් වසර 46ක කාලයක් (1926-1972) ටවර් රඟහලට තම දිවියම රංගනයෙන් කැප කරන මොහු එම රංග ශාලාව රජයට පවරාගන්නා තෙක් ගෙනයන්නේ මහත් අරගලයකි. රංගනයෙන් වේදිකාව වර්ණවත් කළ එඩ්වින් පෙරේරා නළු නිළි සුභසාධනය, පැරණි නාට්‍ය සංරක්ෂණය කිරීම, කුඩා ළමුන්ට ඒවා පුරුදු පුහුණු කිරීම, සිදාදියෙන් හද්දා පිටිසරට නාට්‍ය කලාව රැගෙනයාම මෙන්ම ටවර් රඟහල වේදිකා නාට්‍ය කලාවේ මහගෙදර බවට පත් කරවා පසුකාලීනව අසරණව දුක් සුසුම් හෙලන්නට වූ එහි නළු නිළි පරපුරටද සුභසාධනය සලසා ඔවුන්ගේ ජීවිත මෙන්ම ටවර් රඟහලද සුරක්ෂිත කරන්නට ගත් තැත අප ආඩම්බරයෙන් සිහිපත් කළ යුතුය. ඒ පිළිබඳ දියත් කළ අරගල එදා දිනමිණ, ලංකාදීප, ඇත්ත පුවත්පත්වල පළවූ අයුරුත් කොළඹ මහනගර සභා පරිශ්‍රයේදී මෙන්ම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදීත් හඬ නැඟූ අයුරු අදත් අප මතක අතර ශේෂව ඇත.
මුලින්ම භූරිදත්ත නාට්‍යයෙන් රංගනය ඇරඹූ මේ කලා ශිල්පියා එතැන් පටන් පද්මාවතී, ඔතෙලෝ, විජයබා, දුප්පතාගේ දුක, කපටි ධනපතියා, කැප්පෙටිපොළ, මායාදුන්නේ, ධාතුසේන (ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රථම නාට්‍යය – 1956), සමුද්‍ර දේවි, සිරිසඟබෝ, සිවම්මා ධනපාල, සංකර තරුණිය, ලක්ෂ හතර, විජය, ගහල කොල්ලා, වෙස්සන්තර, රොඩී කෙල්ල, අලකේශ්වර, නිර්මලා, විධුර, රාමායණය, සුවිනීත භාර්යා ආදී නාට්‍ය රාශියකටත් හිටපු නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයකු වූ බී. සිරිසේන කුරේ මහතාගේ සොහොයුරු බී. නන්දසේන කුරේ මහතාගේ සැපතක් සොයා චිත්‍රපටයටත් රංගනයෙන් දායක විය.
රංග කලාව ප්‍රගුණ කිරීමේදී තම දක්ෂතාවය පෙන්නුම් කළා සේම ටවර් රඟහල ජාතිය සතු කිරීමේදී ඔහු ආර්ය සිංහල නාට්‍ය සභාව 1964 සැප්තැම්බරයේදී තමන් මුල්වී නැවත අරඹමින් අභීත සටනක්ද දියත් කළේය. විටින් විට විවිධ හැල හැප්පීම්වලට ලක්වූ ආර්ය සිංහල නාට්‍ය සභාව ආරම්භයේ සිටම එහි කාරක සභිකයකු ලෙසත් පසු කලෙක එහි කළමනාකරු ලෙසත් ඔහු නිලතල හෙබවීය. 1965 දී පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි ආර්. ප්‍රේමදාස මහතා සමඟත්, එවක අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය අයි.එම්.ආර්. ඊරියගොල්ල මහතා සමඟත් සම්බන්ධකම් පවත්වමින් ටවර් රඟහල වර්තමාන තත්ත්වයට ගැනීමට දැඩි කැපවීමක් මේ කලාකරුවා දියත් කළේය. 1956 දී එවක කැලණිය මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළ ජේ.ආර්. ජයවර්ධන මහතා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ එඩ්වින් පෙරේරා මහතා ඓතිහාසික කැලණි පාගමනටද සහභාගි වූවෙකි. 1965 ක්‍රියාත්මක වූ ගුවන් විදුලි කොමිෂන් සභාවටද ටවර්හෝල් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ ඔහු තමන්ගේ උත්සාහයෙන් මුල් වතාවට පැරණි නාට්‍ය ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීමටද පියවර ගත්තේය.
ටවර් රඟහල හා එඩ්වින් පෙරේරා අතර තිබූ නොනැසී පවත්නා සම්බන්ධය මඳක් මතක් කළ යුතුය. 1931 දී එහි මුල් අයිතිකරුවන්ගෙන් දකුණු ඉන්දීය චිත්‍රපට ගෙන්වීම සඳහා මෙම රඟහල ගන්නේ පර්සියානු ජාතිකයෙකි. 1947 දී ඔහුගෙන් එය චිත්‍රපට පෙන්වීම සඳහා වෙන්කරගති. එහිදී ප්‍රධානතම කොන්දේසිය වී තිබුණේ සතියකට වරක් කුමක් හෝ නාට්‍යයක් එහි රඟදැක්විය යුතුය යන්නය. ඔවුන් ඒ කාර්යයන් උල්ලංඝනය කරන්නේය. එය චිත්‍රපට සඳහා පමණක් මුදාහරින්නේය. එවන් යුගයක ආර්ය සිංහල නාට්‍ය සභාවට නැවත පණ දෙමින් එහි ඉපැරැණි නළු නිළි පිරිස එක්කර ගනිමින් එහි ලේකම් ධුරයට පත්වූ එඩ්වින් පෙරේරා මහතා ඉපැරැණි නාට්‍ය කලාවත් ටවර් රඟහලත් බේරාගැනීමේ අරගලයට මූලිකත්වය ගත්තේය.
කතෘ අයිතිය >>> LAKE HOUSE
වීරසිරි බටුවන්තුඩාව