
මහනුවර රාජධානි සමයේ රජ මාලිගය කේන්ද්‍ර කර ගනිමින් වලව් 18ක් පැවතිණි. රජු හා සමීප සම්බන්ධතා පවත්වමින් නිලතල දැරූ අධිකාරම්වරු ඒවායෙහි විසූහ. අද වනවිට මේ වලව් අතරින් බොහොමයක් විවිධ වූ වෙනස්කම්වලට ලක්ව පෞද්ගලික ව්‍යාපාර ස්ථාන බවට පත්ව ඇත. පිළිමතලව්වේ නිලමේ විසූ වලව්ව වර්තමානයේ ජනපති මන්දිරයයි. රැජින හෝටලය පවත්වාගෙන යන්නේ දූල්ලෑව වලව්වේය. මේ අතරින් ඇහැලේපොළ වලව්වට හිමිවන්නේ සුවිශේෂි වටිනාකමකි. පෙර පැවැති ගාම්භීරත්වය සුරැකිව අද ද පවත්නා මෙම වලව්ව පිහිටා තිබෙන්නේ පැරණි රජ මාලිගය පෙනෙන මානයේ ය.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ මහ අධිකාරම් සහ සබරගමුව දිසාවේ ලෙස (1811 – 1814) කටයුතු කළ ඇහැලේපොළ නිලමේ සහ කුමාරිහාමි දරුවන් සමඟ විසූ මෙම වලව්ව පසුකාලීනව බන්ධනාගාරයක් බවට පත්විය.
බෝගම්බර බන්ධනාගාරය දුම්බරට ගෙන යෑමේ ව්‍යාපෘතිය සමඟ මෙම බන්ධනාගාරය ද එම ප්‍රදේශයට රැගෙන යෑමෙන් හිස්වූ ඇහැලේපොළ වලව්ව වරෙක අලුත්වැඩියා කර හෝටලයක් බවට පත් කිරිමට යෝජනා විය. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්රදර්ශනනාගාරයක් මෙන්ම ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ද මෙහි ස්ථාපිත කරන්නට පැවැති රජයන් යටතේ පිඹුරුපත් සැකසිණි. සංස්කෘතික අමාත්‍යාංශය මඟින් මෙහි කෞතුකාගරයක් පවත්වාගෙන යන්නට යෝජනා වූයේ ද මෙම සමයේදී ය. දැන් එහි මෙරට පළමු ඉටි රූ කෞතුකාගාරය ඉදිකර තිබේ. ඒ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ සංකල්පයකට අනුවය. ලෝ ප්‍රකට MadameTussauds කෞතුකාගරයේ ඉටි රූවලට නොදෙවෙනි ආකාරයෙන් මහනුවර රාජධානියේ ශ්‍රී විභූතිය හා පරිසර පසුබිම නිරූපණය වන ලෙස මෙහි නිර්මාණ බිහිව ඇත්තේ ගම්පොළ අතුල හේරත් කලාකරුවාගේ දෑතිනි.
මෙරට අවසන් රාජධානිය හා බැඳුණු ප්රතාපවත් චරිත 36ක ජීවමාන ප්‍රමාණයේ රූප ප්‍රතිනිර්මාණය කරමින් මෙරට මෙතෙක් බිහි වූ දැවැන්තම ඉටි රූ කෞතුකාගාරය මෙම මස 17 වැනි දින ජනපති අනුර කුමාර දිසානායක මහතා අතින් විවෘත කිරීමට නියමිතය. පළමුවැනි විමල ධර්මසූරිය රජු, කුසුමාසන දේවිය, සෙනරත් රජු, දෙවැනි රාජසිංහ රජු, දෙවන විමලධර්ම සූරිය රජු, කීර්ති ශ්‍රී රාජසිංහ රජු, රාජාධි රාජසිංහ රජු, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු, විජය රාජසිංහ රජු, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු, මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි පළමු මහානායක හිමිවරු ලෙස කටයුතු කළ තිබ්බටුවාවේ ශ්‍රී බුද්ධරක්ඛිත හා උරුලෑවත්තේ ධම්මසිද්ධි මහනාහිමිවරු, ප්‍රවර උපාලි හිමි, වැලිවිට සරණංකර සංඝරාජ නාහිමි, ඇහැලේපොළ පවුල, දේවේන්ද්‍ර මූලාචාරි, මොනරවිල කැප්පෙටිපොළ පමණක් නොව රොබට් බ්රවුන්රිග් වැනි ඉංග්‍රීසි පාලකයන්ගේ ඉටි රූ ද ජීවමාන ප්‍රමාණයෙන් මෙහිදී දැක ගැනීමට හැකිය.
ශ්‍රී දළදා මාලිගාව මඟින් මේ ආකාර ව්‍යාපෘතියක් දියත් කිරීම සඳහා ඉදිරිපත් කරනු ලැබූ ව්‍යාපෘති වාර්තාව සලකා බැලීමෙන් පසු නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර දෙකක් පුරා පැතිර පැවති ඇහැලේපොළ වලව්ව සහිත ඉඩම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ දී දළදා මාලිගාව වෙත 2019 වසරේ දී පවරා දෙනු ලැබුවේ කාය බුක්තිය යටතේය. පසුව එය සන්නස් පත්‍රයක් මඟින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දළදා මලිගාවට පවරා දෙනු ලැබුවේය. ඉතිහාස තොරතුරු නිවැරදි ලෙස ගවේෂනය කරමින් රජ දවස වස්ත්රාභරණ පිළිබඳව පවා සුවිශේෂි අවධානයක් යොමු කරමින් මෙම අපූරු නිර්මාණය බිහි කිරීමට ගතව තිබෙන්නේ මාස 16කටත් අඩු කාලයකි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහිත දසනායක, සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය (විශ්‍රාමික) එච්. එම්. ඩී. ආර් හේරත්, හිටපු පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ඇතුළු කණ්ඩායමක් මේ හා සම්බන්ධ පර්යේෂණාත්මක දත්ත සහ පාරම්පරික තොරතුරු සම්පාදනය කර තිබේ. මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විරාජණී කරුණාරත්න, මහාචාර්ය ගයත්‍රී රණතුංග, ආචාර්ය ප්‍රබෝධ මුණසිංහ පාරම්පරික ඇඳුම් පිළිබඳව පර්යේෂණ සිදුකර යෝජනා ඉදිරිපත් කර ඇත. වාස්තු විද්‍යාඥ මහිම හේරත්, ධම්මික ස්වර්ණසිංහ සහ පුබුදු ජයරත්න අභරණ හා මුල් ඇඳුම් නිර්මාණයේ දී දායකත්වය ලබා දී තිබේ.
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මෙම අපූරු නිර්මාණය යථාර්ථයක් බවට පත්වීම සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.
‘දළදා මාලිගාව කේන්ද්‍ර කර ගනිමින් පවතින්නාවූ පැරණි චාරිත්‍ර වාරිත්‍ර ඒ ආකාරයෙන් පවත්වාගෙන යෑමත් මෙරට ඉතිහාසය හා සංස්කෘතියට ජීවය දීමත් දියවඩන නිලමේවරයාගේ කාර්යභාරයක් ලෙස මා හඳුනාගත්තා. පැරණි රජ සමයේ මහනුවර පැවති වලව් ගණනාවක් අද පවතින්නේ එදා තත්ත්වයෙන් නෙවෙයි. ලෝක උරුම මහනුවර නගරයේ අතීත ප්‍රෞඩත්වය තව දුරටත් රැක ගැනීම අපේ වගකීමක්. ඇහැලේපොළ වලව්ව කේන්ද්‍ර කර ගනිමින් මේ ආකාර ව්‍යාපෘතියක් දියත් කිරීමෙන් මම හිතන්නේ ඒ වලව්වට වගේම ඇහැලේපොළ නාමයටත් අපි ගෞරවයක් ලබා දුන්නා. මට අවශ්‍යය වුණේ ඉතිහාසය එලෙසින්ම වර්තමානයට ගෙන ඒමයි‘
ඉටි රූ කෞතුකාගාරයට අමතරව එදා රජු වැළඳු බව කියන ව්‍යංජන 32ක රාජකීය භෝජනය ප්‍රතිනිර්මාණය කිරීමට ද නිර්මාණකරුවන් අවධානය යොමුකර තිබේ. ඒ පැරණි ආහාර වට්ටෝරු සහිත භෝජනාගාරය මඟිනි. දර ලිප් ක්‍රමයට පිසූ ආහාර ගැනීමේ පහසුකම් භෝජනාගාරයේ ස්ථාපිත කර තිබේ. දේශීය කර්මාන්තකරුවන්ගේ නිර්මාණ ප්‍රවර්ධනය සඳහා ඉදිකරන ලද අලෙවි සලක් සඳහා ද මෙහි ඉඩකඩ වෙන්කර ඇත. වලව්වේ මැද මිදුල හා වට මිදුල වෙන්කර තිබෙන්නේ ශාස්ත්‍රිය හා සංස්කෘතික කටයුතු සඳහාය.

කතෘ අයිතිය >>> LAKE HOUSE
අසේල කුරුළුවංශ