
වසර 70කට පසු ටෙස්ට් ක්‍රිකට් තරගයකදී ඉනිමක අඩුම ලකුණු ගණනකට දැවී ගිය බටහිර ඉන්දීය කොදෙව් පිල කිංග්ස්ටන් සබීනා පාක්හි පැවති 3 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඕවර 14.3කදී ලකුණු 27කට සියලු දෙනා දැවී ගියහ.
ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර, පැවති මේ තරගයේදී ලකුණු 204ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 27කට දැවී යෑමේදී වාර්තා රැසක් අලුත් විය.
එය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි අඩුම කණ්ඩායම් එකතුව වන අතර, 1955දී ඕක්ලන්ඩ්හිදී එංගලන්තයට එරෙහිව නවසීලන්තය රැස් කළ ලකුණු 26ට වඩා 1 ලකුණක් වැඩි වේ. මෙය බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ඉතිහාසයේ ඉනිමක අඩුම ලකුණු ගණන වූ අතර, මීට පෙර වාර්තාව වූයේ 2004දී එම සබීනා පාක්හිදීම එංගලන්තයට එරෙහිව ලකුණු 47ක් ලබා ගැනීමය.
මේ තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉනිම දෙකක් පුරා රැස් කළ මුළු එකතුව ලකුණු 170කි. මෙය ටෙස්ට් තරගයකදී ඔවුන්ගේ අඩුම ලකුණු සංඛ්‍යාව වේ. මීට පෙර අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ 1957දී ඕවල්හිදී එංගලන්තයට එරෙහිව ලබාගත් ලකුණු 175කි.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඕවර 14.3කදී දැවී යෑම ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක තුන්වන අඩුම ඕවර සංඛ්‍යාව වේ. දකුණු අප්‍රිකාව 1924දී එංගලන්තය හමුවේ බර්මින්හැම් ටෙස්ට් තරගයේදී ඕවර 12.3කදී ලකුණු 30කට දැවී ගිය අතර, ශ්‍රී ලංකාව 2024දී දකුණු අප්‍රිකාව හමුවේ ඩර්බන් ටෙස්ට් තරගයේදී ඕවර 13.5කදී ලකුණු 42කට සියල්ලන් දැවී ගොස් තිබේ.
ටෙස්ට් ඉතිහාසයේ කණ්ඩායමක පිතිකරුවන් හත් දෙනෙකු ලකුණු නොලබා දැවී ගිය පළමු අවස්ථාව මෙය වේ. මීට පෙර පිතිකරුවන් හය දෙනෙකු නව වතාවක් ලකුණු නොලබා දැවී ගොස් ඇත.
මිචෙල් ස්ටාර්ක් පන්දු 15කදී කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ අතර, මෙය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම කඩුලු 5 දවා ගැනීමේ වාර්තාවය. පෙර වාර්තා පන්දු 19කදී ඔස්ට්‍රේලියාවේ අර්නි ටොෂැක් (1947), එංගලන්තයේ ස්ටුවර්ට් බ්‍රෝඩ් (2015) සහ නවසීලන්තයේ ස්කොට් බොලන්ඩ් (2021) විසින් තබා ඇත.