19 දෙනෙක් මියගිය පසු නේපාලය සමාජ මාධ්‍ය තහනම ඉවත්කරයි

නේපාල රජය, එරට සමාජ මාධ්‍ය තහනම් කිරීමට ගත් තීරණය ඉවත් කර තිබෙනවා.

මේ බව එරට සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය ප්‍රිතිව් සුබා විසින් ප්‍රකාශ කර තිබෙනවා.

එරට රජය විසින් මෙතෙක් පනවා තිබූ සමාජ මාධ්‍ය තහනමට එරෙහිව පැවති විරෝධතා අතරතුර පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමෙන් පසුව, මෙම තීරණයට එළඹ ඇති බවයි, මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ෆේස්බුක් සහ යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය 26 ක් සඳහා නේපාල රජය විසින් පනවා තිබූ තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින්, උද්ඝෝෂණ ක්‍රියාත්මක වුණා.

මහජන විරෝධතා ‍හා ආරක්ෂක අංශ අතර සිදු වූ ගැටුම් හේතුවෙන්, සියයකට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

උද්ඝෝෂකයින් කත්මන්ඩු අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට තරුණයින් දහස් ගණනක් ඊයේ දිනයේ බලහත්කාරයෙන් කඩා වැදීමට උත්සහ කිරීමත් සමග ඔවුන් විසුරුවා හැරීමට නේපාල පොලිසිය සහ ආරක්ෂක අංශ කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාරයන් එල්ල කළ බවයි, මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඒ අතර, සමාජ මාධ්‍ය තහනමට එරෙහිව විරෝධතාකරුවන් ප්‍රදේශ රැසක ද උද්ඝෝෂණ ක්‍රියාත්මක කෙරුණා.

ඊයේ පැවති විරෝධතාවලින් පසුව මෙම තීරණයට එළඹි බවයි, එරට රජය ප්‍රකාශ කරන්නේ.

ව්‍යාජ ප්‍රවෘත්ති, වෛරී ප්‍රකාශ සහ දූෂණ මැඩපැවැත්වීම සඳහා සමාජ මාධ්‍ය වේදිකා නිසි ලෙස නියාමනය කළ යුතු බව, එරට රජය ප්‍රකාශ කරනවා.