අප්‍රිකාව දිනවන බොට්ස්වානා ශූරයින්

ලෝක ශුරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 පිරිමි සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීම හේතුවෙන් බොට්ස්වානා දේශයේ රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පසුගියදා ජපානයේ ටෝකියෝහිදී නිමාවට පත්වූ ලෝක ශුරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ඔවුන් මෙම දක්ෂතාව ප්‍රදර්ශනය කළා.

මෙහිදී මීටර් 400 හතර පිරිමි සහාය ඉසව්ව බොට්ස්වානා කණ්ඩායම අවසන් කළේ මිනිත්තු 2 තත්පර 57.76 කින්.

බොට්ස්වානා කණ්ඩායමට මෙම රන් පදක්කම හිමි වුණේ තත්පර දශම 6 කින්.

මිනිත්තු 2 යි තත්පර 57යි දශම 8 යි 3 කින් තරඟය නිමා කළ අමෙරිකාවට රිදී පදක්කමත්, ලෝකඩ පදක්කම දකුණු අප්‍රිකාවටත් හිමි වුණා.

රන් පදක්කම හිමි කරගත් බෝට්ස්වානා කණ්ඩායම නියෝජනය කළේ ලී බෙකෙම්පිලෝ එපී, ලෙට්ස්ලි ටෙබෝගෝ, බයාපෝ ඩෝරි සහ බුසාන්ග් කොලෙන් කෙබිනට්ශිපි යන ක්‍රීඩකයින්.

එම ජයග්‍රහණයෙන් පසුව බොට්ස්වානා ජනාධිපති ඩූමා බෝකෝ අන්තර්ජාලය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රකාශ කර ඇත්තේ මෙය සමස්ත අප්‍රිකාවටම ඓතිහාසික ජයග්‍රහණයක් බවයි.

ඒ අනුව ලබන 29 වැනිදා තම රටට නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරන බවද ඔහු සඳහන් කළා.

මෙම ජයග්‍රහණය උත්කර්ෂවත් ලෙස සැමරිය යුතු බවත් ඒ හේතුවෙන් මෙලෙස නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කරන බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

මෙලෙස නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ තම රටේ නිදහස් දිනයට පෙර දිනය වීමද විෂේශත්වයක්.