පංචිකාවත්ත වෙඩිතැබීමට අයෙක් අල්ලයි

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත්කිරීමකට සම්බන්ධ සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (04) දින කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව මරදාන පොලිස් වසමේ අබේසිංහාරාම මාර්ගයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 මිලිග්‍රෑම් 200 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මරදාන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරු වයස අවුරුදු 40 ක් වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම සැකකරු සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී, 2025.09.06 වන දින මරදාන පොලිස් වසමේ පංචිකාවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීමේ අපරාධයට සම්බන්ධ වෙඩික්කරු බවට අනාවරණය වී ඇත.

මෙම අපරාධය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර අපරාධයට සම්බන්ධ යතුරුපැදියේ පැදිකරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.