කෑම දෙන්න ගිහින් වුණ විපතක්

බුත්තල කතරගම මාර්ගයේ දී වන අලියෙකුට ආහාර ලබා දීමට ගිය වෑන් රථයකට වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

බුත්තල සිට කතරගම දක්වා යාල ජාතික වනෝද්‍යානය මැදින් දිවෙන මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනවලින් ලබා දෙන ආහාර බලාපොරොත්තුවෙන් වන අලි මග දෙපස රැදී සිටින ආකාරය නිරන්තරයෙන් දක්නට ලැබෙනවා.

වන ජීවි නිලධාරීන් අලින්ට ආහාර ලබා නොදෙන ලෙස සංචාරකයින් හට දැනුවත් කිරීම් සිදු කළත් ඒ කිසිිඳු දැන්වීමක් ගනනකට නොගන්නා රියදුරන් සිටින ආකාරය ද ප්‍රදේශයේ සංචාරය කිරීමේ දී අපට දක්නට ලැබිණ.

මාර්ගය අසල රැදී සිටි අලියෙකුට ආහාර ලබා දුන් වෑන් රථයකට එම අලියා තවත් ආහාර බලාපොරොත්තුවෙන් පහර දෙන ආකාරය කැමරාවක සටහන් වී තිබෙනවා.

මෙම මාර්ගයේ නිරන්තරයෙන් වන අලි පහරදීම් වාර්තා වන අතර එම නිසා බුත්තල කතරගම මාර්ගයේ ගමන් කිරීමේ දී වන සතුන් ට ආහාර ලබා දීමෙන් වළකින ලෙසද වන ජීවි නිලධාරීන් දැනුම්දෙනවා.