තමා සිදුනොකළ ප්‍රකාශයක් ගෙනහැර දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇති පුවත තරයේ ප්‍රතික්ෂේප කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා අවධාරණය කරනවා.
ඔහු කියා සිටින්නේ එම අසත්‍ය ප්‍රවෘත්තිය ප්‍රචාරය කිරීමට ක්‍රියාකර ඇති පුද්ගලයින් සම්බන්ධව විමර්ශනයක් පැවැත්වීම සඳහා පොලිස්පතිවරයා වෙත උපදෙස් දී ඇති බවයි.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවත්, එය පිටුපස ඉන්දියාව සිටින බවටත්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා විසින් පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සභාව වෙත ප්‍රකාශ කළ බවට සාවද්‍ය පුවතක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
එම පුවත පිළිබඳව කරුණු දක්වමින් විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පවසන්නේ ඉකුත් 8 වැනි දින පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාව විසින් කරන ලද කැඳවීමකට අනුව එම කාරක සභාව හමුවේ පෙනී සිට මතුවු කාරණා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදුන් බවයි.
එම අවස්ථාවේ පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවට කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ බව ඔහු අවධාරණය කරනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් සංසරණය වන ප්‍රවෘත්තිය සත්‍යයෙන් තොර එකක් වන අතර, එය තරයේ ප්‍රතික්ෂේප කරන බව ඔහු කියා සිටිනවා.
මෙම අසත්‍ය ප්‍රවෘත්තිය ප්‍රචාරය කිරීමට කටයුතු කළ පුද්ගලයින් පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමට පොලිස්පතිවරයාට උපදෙස් ලබාදුන් බවත්, මීට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා තම නීතිඥවරුන් වෙත උපදෙස් දී ඇති බවත් විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.