දියේ ගිලී දරුවෙකු මියයාමේ සිද්ධියට 7ක් අත්අඩංගුවට

පිහිණුම් තටාකයක් තුල දියේ ගිලී දරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධව හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 08 වන දින උදෑසන කාලයේ මිරිහාන, ස්ටැන්ලි මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිණුම් තටාකයේ දරුවෙකු ගිලී මියයාමේ සිද්ධිය සම්බන්ධව මිරිහාන පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර ඇත.

මියගිය දරුවා වයස අවුරුදු 05 ක් වන උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

මියගිය දරුවා පුද්ගලික පෙර පාසලක අධ්‍යාපනය ලබන අතර පාසලේ ගුරුවරුන් හා දරුවන් කණ්ඩායමක් සමඟ පුහුණුකරුවෙකු යටතේ ඉහත හෝටලයේ පිහිණුම් කටයුතු සිදු කරමින් සිටියදී මෙම දරුවා දියේ ගිලීම හේතුවෙන් කළුබෝවිල රෝහල වෙත ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ඒ අනුව ඊයේ (09) දින කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කර විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා.

මෙම සිදුවීමට අදාලව පෙර පාසලේ සහකාර විදුහල්පති, ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී, ළමුන් භාරව සිටි ගුරුවරුන් දෙදෙනෙකු, පෙර පාසල් සේවිකාවක් හා පිහිණුම් උපදේශකයින් දෙදෙනෙකු ඇතුලු හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.