විදෙස් ජාතික කාන්තාවකගේ මුදල් සොරගත් සැකකරුවෙකු අත්අඩංගුවට

2025.11.11 වන දින සවස් කාලයේ කොටුව පොලිස් වසමේ පිහිටි ප්‍රධාන පෙලේ හෝටල් කාමරයක රැඳී සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මුදල් පසුම්බියක තිබූ මුදල් සොරාගෙන ඇති බවට 2025.11.13 වන දින කොටුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත වහාම ක්‍රියාත්මක වූ කොටුව පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් විමර්ශන ආරම්භ කර ඇත.

මෙම විදෙස් ජාතික කාන්තාව තවත් කාන්තාවක් සමඟ අදාල හෝටලයේ විශේෂ අමුත්තන් ලැඟුම් ගන්නා කාමරයක නවාතැන්ගෙන සිට ඇති අතර, ඇයගේ මුදල් පසුම්බියේ තිබූ ඩිරාම් සහ යුරෝ මුදල් (මෙරට මුදලින් රුපියල් 330,000/=) අස්ථානගත වී ඇති බවට සංචාරක පොලිසියට ලද පැමිණිල්ලක් මත කොටුව පොලිසිය මඟින් විමර්ශන ආරම්භ කර අදාල හෝටලයේ සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 41 ක් වන කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුගෙන් සිදු කල ප්‍රශ්න කිරීමේදී විදෙස් ජාතික කාන්තාවන් එහි කාමරයේ නොමැති අවස්ථාවක මෙම සොරකම සිදුකර ඇති බවත් සොරාගත් විදෙස් මුදල් ජා ඇල ප්‍රදේශයේ පිහිටි මූල්‍ය ආයතනයකින් මාරුකර ඇති බවටත් අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 2025.11.14 වන අද දින කොටුව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.