
දෘශ්‍යාබාධිත කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය මංගල ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ (13) සමත් වූහ.
නවදිල්ලියේ පැවති තරගාවලියේ සිවුවැනි තරගයේදී අමෙරිකාව කඩුලු 6කින් පරාජය කරමින් ශ්‍රී ලංකා පිල මේ මංගල ජයග්‍රහණය සටහන් කර ගත්තේය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් අමෙරිකාව ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 186ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිල ඕවර 14කදී ජය තහවුරු කර ගත්තේ කඩුලු 4ක් දැවී තිබියදීය.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ මිහිරානි දුලාංජලී පන්දු 39කින් ලකුණු 44ක් රැස් කළේ හතරේ පහර 5ක් සමඟිනි. මතීෂා සංකේතනී ලකුණු 19ක්, සඳුනි සෞම්‍යා සහ ස්වේතා කෞමදි ලකුණු 6 බැගින් ඉනිමට එක් කළහ. අතිරේක ලකුණු 65ක් ද ඉනිමට එක්ව තිබිණි.
පන්දු 18කින් ලකුණු 30ක් රැස් කරමින් ස්ටේසි රනෙල් ඩෙවෝන් අමෙරිකානු ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූවාය. කැරොලයින් එලිසබෙත් කාපර් ලකුණු 22ක් සහ අබේ ෆින්ක්ලියා නොදැවී ලකුණු 21ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී සඳුනි සෞම්‍යා, ස්වේතා කෞමදී සහ නිපුනි චමෝද්‍යා කඩුල්ල බැගින් දවා ගත්හ. අමෙරිකානු පිලට අතිරේක ලකුණු 66ක් ද එක් විය. මේ තරගයත් සමඟ ශ්‍රී ලංකා පිලට ඉන්දියාවේදී ක්‍රීඩා කිරීමට ඇති තරග නිමාවට පත්වූ අතර, ඔවුන් යළිත් හෙට (15) කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩාංගණයේදී පෙරවරු 9.00ට පාකිස්තානයට එරෙහිව මූලික වටයේ තරගයට එක්වෙයි.
“අපි මුල් තරග දෙක පැරදුණා. අද උදේ අපි අලුත් තරගයක් ආරම්භ කළා. මගේ කණ්ඩායම හොඳ දස්කම් පෙන්නුවා. අපි කතා කළා අපේ අතින් වැඩිපුර සිදුවන අඩුපාඩු මොනවද කියලා. ඉතින් සියලුම අංශ හොඳින් ක්‍රියාත්මක වෙමින් මේ තරගය ජය ගැනීමට හැකිවුණා. අපි කලින් තරගවල සිදුවුණු අතපසුවීම් ගැන සාකච්ඡා කළා. අද හොඳින් තරග කළා.” තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් පුහුණුකරු නිලංක කන්දේගම මහතා පැවසීය.
මේ තරගයේදී අමෙරිකානු පිල වෙතින් අතිරේක ලකුණු 65ක් වාර්තා වූ අතර, ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගෙන් අතිරේක ලකුණු 66ක් වාර්තා වූයේ වැඩි වයිට් පන්දු සංඛ්‍යාවක් ද සමඟිනි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුහුණුකරු කියා සිටියේ “අපෙන් වයිට් ලකුණු රැසක් ගියා. පන්දු යැවීමේදී සහ පන්දු රැකීමේදී මන්දගාමි වීම නිසා වැඩිපුර කාලයක් ගතවුණා. ඒක ලොකු අඩුපාඩුවක්. අපි ඊළඟ තරගයේදී ඒවා හදාගෙන නියමිත කාලය තුළ පන්දු යැවීමට කටයුතු කරනවා.” යන්නයි.
අමෙරිකා දෘශ්‍යාබාධිත කාන්තා පිල – 183/6 (ඕවර 20) ස්ටේසි රනෙල් ඩෙවෝන් 30, කැරොලයින් එලිසබෙත් කාපර් 22, අබේ ෆින්ක්ලියා නොදැවී 21, ෂැනන් ක්‍රිස්ටි බ්‍රිට් 10 (සඳුනි සෞම්‍යා 25/1, ස්වේතා කෞමදි 28/1, නිපුනි චමෝද්‍යා 34/1)
ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කාන්තා ක්‍රිකට් පිල – 186/4 (ඕවර 14) මිහිරානි දුලාංජලී 44, මතිෂා සංකේතනී නොදැවී 19, ස්වේතා කෞමදි නොදැවී 6, සඳුනි සෞම්‍යා 6 (ටීනා ඈන් ගෘෘචෝ 22/2, අබේ ෆින්ක්ලියා 17/1, ස්ටේසි රනෙල් ඩෙවෝන් 21/1)