ඇමති නලින්දගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ජාතික රෝහලේ දෙවන කැත්ලැබ් ඒකකය පිහිටුවීම හෙට (27)

මෙරට හෘද රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ දියුණුවේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ගාල්ල ජාතික රෝහලේ දෙවන කැත්ලැබ් ඒකකය පිහිටුවීම හෙට (27) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

මහාචාර්ය ජර්ග් ගුනන්ෆෙල්ඩර් ඇතුළු දානපතීන් සහ ස්විට්සර්ලන්තයේ හෙල්ප් කාඩියෝ සංවිධානය විසින් ගාල්ල කරාපිටිය රෝහල සඳහා පිලිප්ස් අසුරියන් ඇන්ජියෝග්‍රැෆි (Philips Azurion Angiography Machine) යන්ත්‍රයක් මිලදී ගැනීමට දැක් වූ යුරෝ 650,000 ක මුල්‍ය දායකත්වය යටතේ මෙම කැත්ලැබ් ඒකකය පිහිටුවීමට පියවර ගෙන ඇති අතර, කැත්ලැබ් කාමරය ප්‍රතිසංස්කරණය කර සකස් කිරීම සඳහා රෝහල තම අරමුදලින් රුපියල් මිලියන 25 ක් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 35 ක මුදලක් වැය කර ඇත.

එමෙන්ම මෙරට හෘද රෝග ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා 2026 වස­රේ දී අලු­තින්ම කැත් ලැබ් යන්ත්‍ර 11 ක් මුළු දිවයිනම ආවරණය වන පරිදි රෝහල්වල ස්ථාපිත කිරීමට ද අවධානය යොමුව ඇති අතර, මේ වන විට මෙරට රෝහල් පද්ධතිය තුල කැත්ලැබ් 14 ක් වේ. 

ගාල්ල ජාතික රෝහලේ දෙවන කැත්ලැබ් ඒකකය ස්ථාපනය කිරීමෙන් ඇන්ජියෝග්‍රැෆි (angiography) සහ පර්කියුටේනියස් කිරීටක ප්‍රතිකාර සේවා  (Percutaneous Coronary Intervention -PCI)  සඳහා රැඳී සිටීමේ කාලය වසරක සිට මාසය දක්වා අඩු කළ හැකි වන අතර, ඇන්ජියෝග්‍රැෆි සඳහා දැනට රෝහලේ වසරක පොරොත්තු ලේඛනයක් පවතින අතර, එම පොරොත්තු ලේඛණ ද අවම කිරීමට හැකියාව ලැබේ. 

එමෙන්ම මෙම නව කැත්ලැබ් ඒකකය පිහිටුවීම මගින් වර්තමාන සහ අනාගත රෝග විනිශ්චය සහ හෘද සත්කාර ධාරිතාව පුළුල් කිරීම, දකුණු, සබරගමුව සහ ඌව පළාත්වල හෘද රෝගවලින් සිදුවන මරණ හා රෝගාබාධ අඩු කිරීම, හෘදයාබාධ රෝගීන් සඳහා පැය 24 පුරාම සේවා සහතික කිරීම, පවතින ඒකකයේ බිඳවැටීම් හෝ නඩත්තු කිරීම් හේතුවෙන් සිදුවන සේවා බාධා අවම කිරීම, වාර්ෂික හෘද රෝගී ප්‍රතිකාර සේවා වත්මන් ධාරිතාවයෙන් දෙගුණයකටත් වඩා වැඩි කිරීම ආදි අරමුණු සඵල කර ගත හැකි වනු  ඇත. 

ඌව පළාතේ සහ සබරගමුව පළාතේ ඇන්ජියෝග්‍රැෆි යන්ත්‍රයක් නොමැතිකම හේතුවෙන් හෘද රෝගීන් විශාල සංඛ්‍යාවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ජාතික රෝහලට යොමු කෙරේ.

ගාල්ල ජාතික රෝහල ඇඳන් 2,060 ක ධාරිතාවයකින් යුත් ශ්‍රී ලංකාවේ තුන්වන විශාලතම රෝහල වන අතර, මුළු දකුණු පළාතටම සහ සබරගමුව සහ ඌව යන පළාත් දෙකෙහිම අවසාන යොමු කිරීමේ මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරයි.  දකුණු පළාතටට අමතරව වෙනත් ප්‍රදේශවලින් යොමු කරනු ලබන හෘද රෝගීන් සඳහා ද කරාපිටිය ජාතික රෝහල ප්‍රතිකාර සේවා ලබාදෙනු ලබන අතර මෙම නව තැත්ලැබ් ඒකකය පිහිටුවීමත් සමග රෝහල මගින් හෘද රෝගීන් සඳහා ලබාදෙන  ප්‍රතිකාර සේවාවන් තවත් ශක්තිමත්  වනු ඇත.