
2025 ජාතික සෞඛ්‍ය පර්යේෂණ සම්මන්ත්‍රණය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ කොළඹ ගලදාරී හෝටලයේ දී පැවැත්විණි. මෙවර තේමාව වූයේ “කෘත්‍රීම බුද්ධි යුගයේ සෞඛ්‍ය පර්යේෂණ දියුණු කිරීම ”යන්නයි.
AI තාක්ෂණය අපගේ සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ පර්යේෂණ සඳහා තාක්ෂණික වශයෙන් යොදා ගැනීම සීමා නොවී එය ඔවුන්ගේ දැනුම, කුසලතා, ආකල්ප හා ආචාරධර්මීයව සහාය කර ගැනීමේ වැදගත්කම මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය. එමෙන්ම වසංගත රෝග විද්‍යාව, රසායන විද්‍යාව, සේවා සැපයීම් සහ සෞඛ්‍ය පද්ධති වැඩි දියුණු කිරීම සඳහා AI තාක්ෂණය භාවිතා කිරීම පිළිබඳව ශ්‍රී ලාංකේය පරියේෂකයින් අධ්‍යයනය කරමින් සිටීම සහ එය භාවිතයට ගැනීම සතුටට කරුණක් බවත් ඒ මහතා සඳහන් කළේය.
ගෝලීය සෞඛ්‍ය ප්‍රජාව අතර පවතින දැනුම උත්පාදනය සහ එය ප්‍රායෝගික භාවිතාව අතර පවතින පරතරයන් අවම කර ගැනීමට ද මෙම භාවිතාව මහඟු පිටිවහලක් බවත්, මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාව අතර අන්‍යොන්‍ය සහයෝගීතාව මෙන්ම කැපවීමේ වැදගත්කම ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.
තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා AI තාක්ෂණ යෙදවුම් මඟින් රෝග විනිශ්චය, දත්ත විශ්ලේෂණය, නව සෞඛ්‍ය ප්රවනතා තේරුම් ගැනීම, මහජන සෞඛ්‍ය ගැටලු සඳහා විසඳුම් සෙවීම යනාදිය දැවැන්ත පරිවර්තනයකට ලක් වෙමින් පවතින බව ද සඳහන් කළේ ය. එසේම සෞඛ්‍ය ක්ෂේත්රයේ නිරවද්‍යතාවය, කාර්යක්ෂමතාවය, සහ සාධාරණත්වය අත්‍යවශ්‍ය අප රටට AI තාක්ෂණ යෙදවුම් මඟින් එය යථාර්ථයක් බවට පත් කර ගත හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව විශ්වවිද්‍යාල, තාක්ෂණික විද්‍යාල, සංවර්ධන හවුල්කරුවන් සහ දේශීය මෙන්ම ජාත්‍යන්තර පර්යේෂකයන්ට ද මේ යටතේ හවුල් කාරීත්වයකින් කටයුතු කිරීමේ අවස්ථාව ලැබෙන බවත්, ඒ තුළින් විද්‍යාත්මක සාක්ෂි, ප්‍රතිපත්ති සංවර්ධනය, මාර්ගෝපදේශ සකස්කිරීම සහ ජාතික සැලසුම්කරණය දක්වා කටයුතු ඉටු කළ හැකි බවද සඳහන් කළේ ය. එමෙන්ම පර්යේෂණවල නිරවද්‍යතාවය සලකා බැලීම මෙන් ම මතුවන අභියෝග සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්විය හැකි සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගීම සඳහා අවස්ථාව උදාවන බව ද වැඩිදුරටත් සඳහන් කළේ ය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් මොහොමඩ් නවාවි, වැ.බ.සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය සුරංග දොලමුල්ල, ජාතික සෞඛ්‍ය පර්යේෂන කවුන්සිලයේ සභාපති මහාචාර්ය රෝහිණී සෙනෙවිරත්න, සිංගප්පූරු විශේෂ නියෝජිත වෛද්‍ය කේ. යූ හේ යන මහත්ම මහත්මීන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්, වෛද්‍ය වෘත්තිකයින්, සහ සෞඛ්‍ය පර්යේෂකයින් ද සහභාගී වූහ.