ඉන්දුනීසියාව යට කළ මහා ජල කඳ… මියගිය පිරිස 700 ඉක්මවයි

ඉන්දුනීසියාවට බලපෑ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 700 ඉක්මවා ගොස් තිබෙනවා.

බලපෑමට ලක්වූ බොහෝ ප්‍රදේශ වලට ගලවා ගැනීමේ කණ්ඩායම් වලට තවමත් ළඟා වීමට නොහැකි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සුළි කුණාටුවත් සමග ඇති වූ ගංවතුර ඉන්දුනීසියාවේ පළාත් තුනකට බලපෑ අතර මිලියන 1.5 ක පමණ ජනතාවකට බලපෑම් එල්ල කර තිබෙනවා.

අතුරුදන් සංඛ්‍යාව 500 කට ආසන්නයි. තුවාල ලබා ඇති සංඛ්‍යාව දහස් ගණනක්.

ඉන්දුනීසියාව මෑත කාලීනව ධාරානිපාත වර්ෂාවෙන් සහ කුණාටුවලින් පීඩාවට පත් රටක් ලෙසයි සැලකෙන්නේ.

ඉන්දුනීසියාවේ, ආචේ, උතුරු සුමාත්‍රා සහ බටහිර සුමාත්‍රා පළාත්වලට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බව සඳහන්.

ඇතැම් ප්‍රදේශ වලට තවමත් ලඟා වීමටවත් නොහැකි වී ඇති බවයි බලධාරීන් පවසන්නේ.

දහස් ගණනක් ජනතාව අත්‍යවශ්‍ය සැපයුම් නොමැතිව සිටින බව විදෙස් මාධ්‍ය කියා සිටිනවා.

ඉන්දුනීසියානු ජාතික ආපදා අවම කිරීමේ ඒජන්සිය පවසන්නේ මිලියනයක් පමණ ජනතාව ඉවත් කර ඇති බවයි.

බොහෝ පිරිසක් තවමත් ආහාර සහ ආධාර අපේක්ෂාවෙන් පසු වනවා. ඇතැමුන් දින තුනක් තිස්සේ ආහාර ගෙන නොමැති බව සඳහන්.

අන්තර්ජාල සම්බන්ධතා සහ පිරිසිදු ජලය වැනි මූලික අවශ්‍යතා ලබා ගැනීමට බොහෝ පිරිස්වලට කිලෝමීටර් ගණනක් යාමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඇතැම් ප්‍රදේශ වල ජනතාව පිළිබඳ කිසිම තොරතුරක් මෙතෙක් නොමැති බවද බලධාරීන් පවසනවා.

පතල් කැණීම් සහ කෘෂිකර්මාන්තය සඳහා ඉඩම් එළිපෙහෙළි කිරීම වැනි පාරිසරික වැරදි කළමනාකරණය ඉන්දුනීසියානු ගංවතුර බලපෑම තීව්‍ර කර ඇති බවයි ක්‍රියාකාරී කණ්ඩායම් චෝදනා කරන්නේ.

දකුණු සහ අග්නිදිග ආසියාව පුරා, ගංවතුර හා නායයෑම් හේතුවෙන් පසුගිය සතිය තුළ පුද්ගලයින් 1,200 ක් පමණ මිය ගොස් තිබෙනවා.

තායිලන්තයේ මරණ සංඛ්‍යාව අවම වශයෙන් 176 දක්වා ළඟා වී ඇති බවයි වාර්තා වන්නේ.