ඉරාන ප්‍රහාර හමුවේ ඇමරිකානු සොල්දාදුවන් තිදෙනෙකු මරුට

ඉරාන ප්‍රහාර හමුවේ ඇමරිකානු සොල්දාදුවන් තිදෙනෙකු මරුට

පළිගැනීමක් ලෙස ඉරානය යුද නෞකාවක් ඕමාන් බොක්ක ආශ්‍රිත මුහුදේ ගිල්ලා දැමීමට ඇමෙරිකාව සමත් වී තිබේ

මැදපෙරදිග කලාපය තුළ ක්‍රියාත්මක වන යුදමය මෙහෙයුම් හමුවේ ඇමරිකානු හමුදා සෙබළුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අමෙරිකානු බලධාරීන් තහවුරු කර සිටිනවා.

ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ තවත් සෙබළුන් පස් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර, මෙය ඇමරිකානු පාර්ශවයට එල්ල වූ දරුණුතම බලපෑමක් ලෙස සැලකෙනවා. මේ අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ එල්ල කරන ලද ප්‍රහාර හමුවේ ඉරාන නායකයින් 48 දෙනෙකු එකවර ඝාතනය කිරීමට තම හමුදා සමත් වූ බවයි.


​ඉරානය විසින් ඊශ්‍රායලයේ බේට් ෂෙමේෂ් නගරයට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් අවම වශයෙන් ඊශ්‍රායල වැසියන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගොඩනැගිලි කිහිපයක් විනාශ කරමින් එල්ල වූ මෙම ප්‍රහාරයේදී ගුවන් ආරක්ෂණ පද්ධති නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බවට ඊශ්‍රායල බලධාරීන් පරීක්ෂණ පවත්වමින් සිටිනවා.

මීට අමතරව ඉරානයේ බටහිර මෙහ්රාන් ප්‍රදේශයේ පිහිටි ආරක්ෂක මූලස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් ඉරාන ආරක්ෂක අංශ සාමාජිකයින් 43 දෙනෙකු පමණ මියගොස් ඇති බවත් වාර්තා වනවා.
​මුහුදු කලාපයේ පවතින උණුසුම් තත්ත්වය තවදුරටත් වර්ධනය කරමින්, ඕමාන් බොක්ක ආශ්‍රිතව තිබූ ඉරාන ප්‍රහාරක යුද නෞකාවක් වන (Jamaran-class corvette) ගිල්වා දැමීමට ඇමරිකානු හමුදා සමත්ව තිබෙනවා.

මෙම නෞකාව මුහුදු පතුලේ ගිලෙමින් පවතින බව ඇමරිකානු ආරක්ෂක අංශ තහවුරු කරන්නේ. මේ අතර, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පවසා ඇත්තේ තමන් ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන ‘USS Abraham Lincoln’ වෙත මිසයිල ප්‍රහාර එල්ල කළ බවයි, නමුත් ඇමරිකානු පාර්ශවය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ නෞකාවට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි.