මැද‌පෙරදිග අලුත්ම තත්ත්වය

ඉරානය සතු න්‍යෂ්ටික වැඩසටහන සහ මිසයිල බලය මුළුමනින්ම විනාශ කිරීම තම මෙහෙයුමේ මූලික ඉලක්කය බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉදිරි පැය කිහිපය තුළ මහා ප්‍රහාරක රැල්ලක් ආරම්භ කිරීමට නියමිත බවයි ඔහු කියා සිටින්නේ.

මෙම මෙහෙයුම තවත් සති හතරක හෝ පහක පමණ කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක විය හැකි බවද ට්‍රම්ප් පවසනවා. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිල වශයෙන් ප්‍රකාශ කරන්නේ ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධිය මේ වන විට මුළුමනින්ම වසා දමා ඇති බවයි. ඒ හරහා යාත්‍රා කරන ඕනෑම නෞකාවකට පහර දෙන බව එම බලකාය පවසනවා. අද ඔවුන් අමෙරිකානු සබඳතා සහිත තෙල් නැවකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ මෙම සමුද්‍ර සන්ධිය සති කිහිපයක් වසා තැබුවහොත්, ගෝලීය තෙල් සැපයුම් දාමය මුළුමනින්ම බිඳ වැටිය හැකි බවයි.

විශේෂයෙන් කටාර් රාජ්‍යයෙන් ලැබෙන ද්‍රව ස්වභාවික වායු (LNG) සැපයුම අඩාල වීම නිසා යුරෝපයේ සහ ආසියාවේ බලශක්ති පිරිවැය තුන් ගුණයකින් ඉහළ යාමේ අවදානමක්ද පවතිනවා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස නැව් සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම නිසා ලෝකය පුරා ආහාර උද්ධමනයක්ද ඇති විය හැකි බවටයි ලෝක බැංකුව අනතුරු අඟවන්නේ.

ටෙහෙරානයේ නවතම පුවත් වාර්තා වලට අනුව, ඊශ්‍රායල සහ අමෙරිකානු ගුවන් ප්‍රහාර ඉරාන රජයේ නිල රූපවාහිනී විකාශන මධ්‍යස්ථානය (IRIB) වෙතද එල්ල වී තිබෙනවා.

ප්‍රහාරයත් සමඟ එම ගොඩනැගිලි සංකීර්ණයෙන් විශාල දුමාරයක් නැගුණු අතර නගරය පුරා දරුණු පිපිරීම් හඬක්ද වාර්තා වුණා. ටෙහෙරානයේ පිහිටි රෝහල් නවයකට සහ රජයේ සන්නිවේදන මධ්‍යස්ථාන වලට මෙම ප්‍රහාරවලින් දැඩි හානි  සිදුව තිබෙනවා. මේ අතර, ලෙබනනයේ බේරූට් අගනුවර දරුණු ප්‍රහාරයන්ට ලක්වෙමින් පවතින අතර, හිස්බුල්ලා සංවිධානයට අයත් මූලස්ථාන විනාශ කරමින් පවතින බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

මෙම ප්‍රහාරවලින් පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ ලෙබනන අණදෙන නිලධාරියා ද මියගොස් ඇති බවයි වාර්තාවන්නේ. ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත් කෙරුණු ගුවන් ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා සිටි ඔහුගේ බිරිඳ වන මන්සූරේ කොජාස්ටේ බගර්සාදේ (Mansoureh Khojasteh Bagherzadeh) ද අද මියගොස් තිබෙනවා. ඒ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර ඉරානය ද එම පුවත තහවුරු කර තිබෙනවා. එම ගුවන් ප්‍රහාරවලින් සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් රෝහල්ගත කළ ඇය එහි කෝමා තත්ත්වයකින් පසුවූ බවත්, ඇය අද ජීවිතක්ෂයට පත්වූ බවත් විදෙස් මාධ්‍ය පවසනවා.  මෙම මාරාන්තික ප්‍රහාරයෙන් අලි කමේනිගේ දියණිය, බෑණා, ලේලිය, මුණුපුරා, මිණිපිරිය ඇතුළු තවත් කිහිපදෙනෙකු මියගිය බව මීට පෙර වාර්තා වුණා.                                             

ජනාධිපති ට්‍රම්ප් පවසන පරිදි, මේ වන විට ඉරාන නාවික හමුදාවට අයත් ප්‍රහාරක නැව් 10ක් මුළුමනින්ම විනාශ කර මුහුදුබත් කිරීමට අමෙරිකානු හමුදා සමත් වී තිබෙනවා. මෙම දරුණු ගැටුම් මධ්‍යයේ අවම වශයෙන් අමෙරිකානු සෙබළුන් හය දෙනෙකු මියගොස් ඇතැයි අමෙරිකානු හමුදාව ප්‍රථම වරට නිල වශයෙන් පිළිගෙන තිබෙනවා. මීට අමතරව, ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් එර්බිල් (Erbil) හි පිහිටි අමෙරිකානු කොන්සල් කාර්යාලය සහ ගුවන් තොටුපළ ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාර 23ක් එල්ල කර ඇති බව ද වාර්තා වනවා. ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා බ්‍රිතාන්‍යය සතු ඩියාගෝ ගාර්ෂියා (Diego Garcia) යුධ කඳවුර භාවිතා කිරීමට අවසර ලබාදීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් වෙත සිය දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා. ඩේලි ටෙලිග්‍රාෆ් (Daily Telegraph) පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කළේ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සිය තීරණය වෙනස් කර, අවසර ලබාදීමට “අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි කාලයක්” ගත කළ බවයි. ඉරානයේ මිසයිල මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් බ්‍රිතාන්‍ය කඳවුරුවල සිට මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අමෙරිකානු හමුදාවට අවසර දෙන බව අග්‍රාමාත්‍ය ස්ටාමර් පසුගිය ඉරිදා ප්‍රකාශ කළ අතර, එය “සීමිත භූමිකාවකට” පමණක් යටත් විය යුතු බවට ඔහු කොන්දේසි පනවනු ලැබුවා.               

ඉරාන යුද විශ්ලේෂකයින් පවසන පරිදි, තම උත්තරීතර නායකයාගේ ඝාතනයට පළිගැනීමක් ලෙස ඉරානය සිය ‘සමමිතික නොවන යුද උපක්‍රම’ (Asymmetrical Warfare) භාවිතා කිරීමට සූදානම් වෙමින් පවතිනවා. මෙහිදී සෘජු යුද්ධයකට වඩා කලාපය පුරා විසිරී සිටින ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් ඔස්සේ අමෙරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත මරාගෙන මැරෙන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීම ඔවුන්ගේ අරමුණයි. ඊයේ රාත්‍රියේදී ඉරානය කලාපයේ රටවල් රැසක පිහිටි ඇමරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත සිය 11 වැනි මිසයිල ප්‍රහාර මාලාව එල්ල කර තිබෙනවා.ඊශ්‍රායලය, කුවේට්, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, ජෝර්දානය සහ සෞදි අරාබිය යන රටවල පිහිටි උපායමාර්ගික මධ්‍යස්ථාන වෙතද ප්‍රහාර එල්ල කෙරුණා. වන අතර, කලාපයේ තෙල් පිරිපහදු සහ වරාය පද්ධති වලට ද හානි සිදුව තිබෙනවා. ඇමරිකාව පවසන්නේ ඉරානයේ මෙම ක්‍රියාවන් හමුවේ ඔවුන්ගේ “එපික් ෆරී” මෙහෙයුම තවදුරටත් දැඩි කරන බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ “මහා ප්‍රහාරක රැල්ල” (The Big Wave) ඉදිරි පැය 48 තුළ ක්‍රියාත්මක වනු ඇතැයි ආරක්ෂක අංශ අපේක්ෂා කෙරෙනවා. මෙහිදී ඉරානයේ ඉතිරිව ඇති න්‍යෂ්ටික මධ්‍යස්ථාන සහ භූගත මිසයිල ගබඩා ප්‍රධාන වශයෙන් ඉලක්ක වනු ඇති. අමෙරිකාවට, සයිප්‍රසයේ බ්‍රිතාන්‍ය කඳවුරු භාවිතා කිරීමට අවසර දීම නිසා, සයිප්‍රසය වෙත දරුණු මිසයිල ප්‍රහාර එල්ල කරන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) කළ තර්ජනය හේතුවෙන් මධ්‍යධරණී කලාපයේ ද දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. නිල වාර්තා සඳහන් කරන පරිදි, සයිප්‍රසයේ පිහිටි උපායමාර්ගික ඉලක්ක වෙත ඉරානය ප්‍රහාර එල්ල කර තිබෙනවා. මේ හේතුවෙන් සයිප්‍රසයේ ආරක්ෂාව තහවුරු කිරීමට ග්‍රීසිය සිය F-16 ප්‍රහාරක යානා බලඝණයක් වහාම ක්‍රියාත්මක වන පරිදි යොදවා තිබෙනවා. ඉරානයට එරෙහි මෙහෙයුම් සඳහා භාවිතා කරන සයිප්‍රසයේ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ හමුදා මධ්‍යස්ථාන වෙතයි මෙම ප්‍රහාර එල්ල වී ඇත්තේ. සයිප්‍රස් ගුවන් සීමාව ආක්‍රමණය කිරීම වැළැක්වීම සහ තවදුරටත් එල්ල විය හැකි ප්‍රහාර මැඩපැවැත්වීමට ග්‍රීසිය සහ සයිප්‍රසය ඒකාබද්ධ ආරක්ෂක මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.                                                           

ප්‍රංශය සිය න්‍යෂ්ටික අවි ගබඩාව පුළුල් කිරීමට ගත් හදිසි තීරණය සහ බ්‍රිතාන්‍යය සිය ගුවන් කඳවුරු අමෙරිකානු ප්‍රහාරක යානා සඳහා විවෘත කිරීමත් සමඟ, යුරෝපය ද මෙම යුද ගින්නට සෘජුවම මැදිවීමේ අවදානමක් මතු වී තිබෙනවා. මෙම මහා යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් සහ රන් මිල වාර්තාගත ලෙස ඉහළ යමින් පවතිනවා. බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 සීමාව පසුකර ඇති අතර, රන් අවුන්සයක මිල ඩොලර් 5,426 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නේටෝ (NATO) සංවිධානය මෙම යුද්ධයට සෘජුවම සම්බන්ධ නොවන බව පවසන අතර, ප්‍රංශය සිය න්‍යෂ්ටික අවි ප්‍රමාණය ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. රතු කුරුස සංවිධානය අනතුරු අඟවන්නේ, මෙම ගැටුම් තවදුරටත් ව්‍යාප්ත වීමෙන් සිවිල් වැසියන් මිලියන ගණනකගේ ජීවිත දැඩි අවදානමකට ලක්විය හැකි බවයි. මැදපෙරදිග කලාපය පුරා ව්‍යාප්ත වන ඉරාන-‍අමෙරිකානු යුද්ධය හමුවේ චීනය සිය නිල ස්ථාවරය ප්‍රකාශ කරමින් ඉරානයට සිය පූර්ණ රාජ්‍යතාන්ත්‍රික සහය පළ කර තිබෙනවා.          

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී (Wang Yi) සිය ඉරාන සගයා වන අබ්බාස් අරග්චි සමඟ දුරකථනයෙන් සාකච්ඡා කරමින් පවසා ඇත්තේ, ඉරානයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ ජාතික ගෞරවය ආරක්ෂා කර ගැනීම සඳහා චීනය සැමවිටම ඉරානය සමඟ පෙනී සිටින බවයි.                         

ඇතැම් ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙන්නේ චීනය සහ ඉරානය අතර පවතින වසර 25ක උපායමාර්ගික ගිවිසුම යටතේ, ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධති ශක්තිමත් කිරීමට චීනය සහය දෙනු ඇති බවයි.

මීට අමතරව, අමෙරිකානු නාවික හමුදාවට දැඩි තර්ජනයක් එල්ල කළ හැකි CM-302 වර්ගයේ සුපර්සොනික් නෞකා නාශක මිසයිල (Supersonic Anti-ship Missiles) ඉරානයට ලබා දීම සඳහා වූ සාකච්ඡා ද මේ වන විට අවසන් අදියරේ පවතින බවයි වාර්තා වන්නේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව චීනය අවධාරණය කරනවා. චීන විදේශ අමාත්‍යවරයා අනතුරු අඟවන්නේ, හමුදාමය ශක්තිය පාවිච්චි කරමින් ස්වෛරී රාජ්‍යයන්ට ප්‍රහාර එල්ල කිරීම ලෝකය නැවතත් “කැලෑ නීතිය” (Law of the Jungle) කරා ගෙන යෑමක් බවයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ තීරණාත්මක හමුවට ද මෙම යුදමය තත්ත්වය දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා.