මැදපෙරදිග කලාපය දැඩි යුදමය උණුසුමකට ඇද දමමින් ඉරානය කොන්දේසි විරහිතව යටත් විය යුතු බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර සිටිනවා. ධවල මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉරානය සම්පූර්ණයෙන්ම සටන අත්හැරිය යුතු බවයි. එමෙන්ම ඉරානයේ ඉදිරි දේශපාලන නායකත්වය තේරීම සඳහා ද තමන් මැදිහත් වන බවත් ඔහු අවධාරණය කරනවා.
කෙසේ වුවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන තානාපති අමීර් සෙයිඩ් ඉරවානි පවසන්නේ අමෙරිකාව සහ ඊශ්‍රායලය කිසිදු මානුෂීය සීමාවකින් තොරව සිවිල් වැසියන් පදිංචි ප්‍රදේශ ඉලක්ක කරමින් ප්‍රහාර සිදුකරන බවයි. මේ අතර ඉරානයේ ටෙහෙරාන් අගනුවර සහ ඒ අවට ප්‍රදේශවලට අද අලුයම ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මෙහෙරාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළ හා ඉරානයේ සැපයුම් මධ්‍යස්ථාන අඩපණ කිරීම මෙම ප්‍රහාරවල අරමුණ වී ඇති බවයි.
කලාපීය විශ්ලේෂකයන් පවසන්නේ ඉරානය ද දීර්ඝකාලීන යුද්ධයක් සඳහා සූදානම්ව සිටින බවයි. මේ අතර ඊශ්‍රායලයට ඩොලර් මිලියන එකසිය පනස් එකක හදිසි අවි ආයුධ අලෙවි කිරීම සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝගේ අනුමැතිය හිමිව තිබෙනවා. ලෙබනන දේශසීමාවේ ද තත්ත්වය බරපතල වෙමින් පවතිනවා. ලෙබනනයේ බෙකා නිම්නයට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව දහසය දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. එම ප්‍රදේශයේ ඊශ්‍රායල විශේෂ බලකා සෙබළුන් සහ හිස්බුල්ලා සටන්කාමීන් අතර දරුණු ගොඩබිම් ගැටුම් පවතින බව වාර්තා වනවා. මේ අතර සෞදි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ තම රටේ තෙල් නිධි හා ගුවන් කඳවුරු ඉලක්ක කරමින් එල්ල වූ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන යානා කිහිපයක් සාර්ථකව විනාශ කළ බවයි.
කෙසේ වුවද ප්‍රධානතම තෙල් ගබඩා මධ්‍යස්ථානයක් වන ෆුජයිරාතෙල් පර්යන්තය ආශ්‍රිතව ගින්නක් හට ගැනීමෙන් එයට හානි සිදුව ඇති බවත් ආරක්ෂක පද්ධති මගින් විනාශ කරන ලද ඩ්‍රෝන යානා වල කොටස් තෙල් ගබඩා ටැංකි මතට පතිත වීම නිසා මෙම ගින්න හටගෙන ඇති බවත් විදෙස් මාධ්‍යය වාර්තා සඳහන් කරනවා. බලධාරීන් පවසන්නේ ගින්න පාලනය කර ඇති බවයි. තම රටට එරෙහි වත්මන් ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) සිය නිල X සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඉන් සඳහන් කර ඇත්තේ ඉරානය කලාපය තුළ පවතින සාමය වෙනුවෙන් කැපවී සිටින බවයි.
සාමය අගය කළද, ජාතික ගෞරවය හා ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට කිසිසේත් පසුබට නොවන බවත් මැදිහත් වීමේ උත්සාහයන් මගින් ඉරාන ජනතාව අවතක්සේරු කළ සහ මෙම ගැටුම ඇවිලවූ පාර්ශවයන් පිළිබඳව නිසි අවධානය යොමු කළ යුතු බවත් ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.
