ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු හඳුනාගෙන, රාජ්‍ය යාන්ත්‍රණය ඔවුන් වෙත සමීප කරවීමේ අරමුණින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ‘දිස්ත්‍රික් කර්මාන්ත අනුකමිටු’ රැස්වීම පැවැත්වුණා.
මෙහිදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කාර්මික ක්ෂේත්‍රය නංවාලීම සඳහා වැදගත් යෝජනා කිහිපයකට අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව, ලක්ෂ උයන කර්මාන්තපුරය පුළුල් කිරීමටත්, එහි දෙවන අදියර ගල්ලෑල්ල ප්‍රදේශයේ ආරම්භ කිරීමටත් තීරණය කෙරිණි.
එමෙන්ම, මැණික් කර්මාන්තකරුවන්ගේ පහසුව උදෙසා දිස්ත්‍රික්කය තුළ මැණික් පර්යේෂණ රසායනාගාරයක් ස්ථාපනය කිරීමටත්, ආහාර සැකසුම් කර්මාන්තකරුවන්ට තාක්ෂණික සහය ලබා දීම සඳහා තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථානයක් (Technology Incubation Center) ඉදිකිරීමටත් මෙහිදී යෝජනා විය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) වෙනුවෙන් රජය ලබා දෙන සහන පොළී ණය පහසුකම් ලබාගැනීමේදී පවතින බාධා ඉවත් කිරීමට ප්‍රාදේශීය කර්මාන්ත කමිටු සෘජුව මැදිහත් විය යුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. එසේම, කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව ලබාදීම සහ කර්මාන්ත සඳහා වෙන් කළ ඉඩම් කඩිනමින් අදාළ ව්‍යවසායකයින් වෙත නිදහස් කිරීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
මෙම අවස්ථාව සඳහා නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී බී.එම්. සුනිල් රත්නසිරි මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී එන්.ආර්. පද්මසිරි බණ්ඩාර මහතා සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
