ආර්ටෙමිස් 2 අභ්‍යවකාශයේ ඈතටම ගිය මිනිසුන් ලෙස ඉතිහාසයට

නාසා ආයතනය මෙහෙයවන ආර්ටෙමිස් 2 මෙහෙයුම යටතේ සඳ වටා ගමන් කරන ගගනගාමීන් සිවුදෙනා පෘථිවියේ සිට වැඩිම දුරක් අභ්‍යවකාශයේ සංචාරය කළ මිනිසුන් ලෙස නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.

වසර 1970 දී ඇපලෝ 13 මෙහෙයුම මගින් පිහිටුවා තිබූ කිලෝමීටර හාරලක්ෂ එකසිය හැත්තෑ එකක වාර්තාව මෙලෙස බිඳ වැටෙන බව නාසා ආයතනය නිල වශයෙන් තහවුරු කරනවා.

ඔරියන් යානයේ ගමන් ගන්නා මෙම ගගනගාමීන් කණ්ඩායම පසුගිය සඳුදා දිනයේදී ඇපලෝ 13 වාර්තාව පසුකර ගිය අතර ඔවුන් පෘථිවියේ සිට උපරිම වශයෙන් කිලෝමීටර හාරලක්ෂ හයදහස් හත්සිය අසූ අටක පමණ දුරක් අභ්‍යවකාශයට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

චන්ද්‍රයාගේ පෘථිවියට නොපෙනෙන කලාපය ඔස්සේ පියාසර කරන මෙම ගවේෂකයන් සඳ මතුපිට භූ විද්‍යාත්මක ලක්ෂණ නිරීක්ෂණය කරමින් පැය හයකට අධික කාලයක් දත්ත වාර්තා කිරීමට නියමිතව තිබෙනවා.

රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ ජෙරමි හැන්සන් ඇතුළු පිරිස සිදු කරන මෙම මෙහෙයුම මගින් සඳුගේ මතුපිට මීට පෙර මිනිස් ඇසට හමු නොවූ දර්ශන රැසක් නිරීක්ෂණය කිරීමට හැකිවන බව විද්‍යාඥයන් පවසනවා.

පෘතුවියට නොපෙනෙන චන්ද්‍රයාගේ අඳුරු කලාපය තුළින් ගමන් ගන්නා මිනිත්තු 40 ක පමණ කාලය තුළ යානය සහ පෘථිවිය අතර සන්නිවේදන සබඳතා සම්පූර්ණයෙන්ම බිඳ වැටීම සිදු වූ අතර දැන් නැවතත් සන්නිවේදන ක්‍රියාවලිය යථාතත්වයට පත්වීම මෙහෙයුමේ තීරණාත්මක අවස්ථාවක් ලෙස සැලකෙනවා.

ඉදිරි වසරවලදී සිදුකිරීමට නියමිත ආර්ටෙමිස් 3 සහ 4 චන්ද්‍ර ගොඩබැසීම් සඳහා මෙම මෙහෙයුම ශක්තිමත් පදනමක් සපයන බව අභ්‍යවකාශ ගවේෂකයෙකු වන ජැරඩ් අයිසැක්මන් කියා සිටිනවා.

මෙම ඓතිහාසික චාරිකාව අවසානයේදී දින හතරක පමණ ගමනකින් පසු ඔරියන් යානය යළිත් පෘථිවිය බලා පැමිණීමට නියමිතව තිබෙනවා.