ටෙහෙරාන් අගනුවරට අඛණ්ඩව ගුවන් ප්‍රහාර

ඉරානය සතු හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා ලබා දී ඇති කාලසීමාව අවසන් වීම තුල එරට ප්‍රධාන විදුලි බලාගාර සහ පාලම් ඇතුළු සිවිල් යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම විනාශ කරන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

මැදිහත්කරුවන් හරහා ඉරානය ලබා දුන් සටන් විරාම යෝජනා ප්‍රමාණවත් නොවන බව පවසන ජනාධිපතිවරයා, හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් දැඩි ප්‍රහාර එල්ල කරන බව පවසනවා.

මේ අතර ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල වෙමින් පවතින බව වාර්තා වනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා නිකුත් කළ මෙම අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ඉරාන හමුදා ප්‍රකාශකයා එය හුදෙක් ප්‍රයෝගකාරී ප්‍රකාශයක් පමණක් බව පවසනවා.

අමෙරිකාව පසුවන පරාජිත මානසිකත්වය වසා ගැනීමට මෙවැනි ප්‍රකාශ සිදු කරන බවත්, ඉරානයේ යටිතල පහසුකම් විනාශ කිරීමෙන් අමෙරිකාව බටහිර ආසියානු කලාපය තුළ ලබා ඇති නින්දාව මකා ගත නොහැකි බවත් ඉරාන ආරක්ෂක අංශ පවසනවා.

මේ වන විටත් ටෙහෙරාන් අගනුවර මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර එල්ල වන අතර, කරාජ් නගරය අවට ප්‍රදේශවලින් ද ප්‍රබල පිපිරීම් හඬ ඇසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.