ත්‍රීපෝෂ සමාගමට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ පළපුරුද්දක් සහ අත්දැකීම් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහතා පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඊට අදාල පත්වීම් ලිපිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අමල් නිරෝෂණ අත්තනායක මහතා වෙත ලබාදීම අද (13) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදුවුණා. වසර 25කට අධික කාලයක් පුරා ‍දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ පළපුරුද්දක් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහතා මහනුවර ධර්මරාජ විධ්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

පාසල් වියේදී ජනාධිපති බාල දක්ෂයෙකු ලෙස කටයුතු කර ඇති ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිධාරියෙකි. විශ්ව විද්‍යාල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කර ඇති ඒ මහතා ටෙනිස් ක්‍රීඩාවෙන් මෙරට නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලි සඳහා ද සහභාගීවී ඇත.

දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ සන්නාම රැසක නිර්මාණකරුවකු වන අත්තනායක මහතා දකුණු ආසියාවේ මෙන් ම මෙරට ජාත්‍යන්තර ප්‍රදර්ශණ කිහිපයක් මෙහෙයවීම සහ කළමණාකරණය සිදුකර ඇත. නවීන තාක්ෂණික හා ඩිජිටල්කරණය භාවිතයේ මනා පලපුරුද්දක් ද ඒ මහතා සතුවේ.