GovPay දකුණට

දකුණු පළාතේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සේවා සඳහා ජනතාවට GovPay යෙදවුම හරහා මුදල් ගෙවිමේ පහසුකම හදුන්වා දීම ඊයේ (15) සිදුවුණා.

මාතර, ගාල්ල, හම්බන්තොට යන දිස්ත්‍රික් ලේකම් කාර්යාල තුන ඇතුළු එම දිස්ත්‍රික්ක තුනෙහි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50 ක් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 03හි සේවා සඳහා මෙම යෙදවුම හරහා මුදල් ගෙවීමේ හැකියා⁣ව ජනතාවට ලැබී තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල දහසය (16), ගාල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු ප්‍රාදේශිය ලේකම් කාර්යාල විසිදෙක (22), හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල දොළහ (12)ක් මෙම යෙදවුම මඟින් ආවරණය වනවා.

දිවයිනේ ප්‍රථම වතාවට රාජ්‍ය ආයතන 53 ක් සඳහා එකවර මෙම යෙදවුම හදුන්වා දීම විශේෂත්වයක්.‍

මෙම අවස්ථාව සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ආමාත්‍ය එරංග වීරරත්න මහතා ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලාල් ප්‍රේමනාත් මහතා හා අර්කම් ඉල්ලේයාස් මහතා, තොරතුරු තාක්ශණ සන්නිවේදන ආයතනයේ අධ්‍යක්ෂ හර්ශ පුරසිංහ මහතා, ලංකා පේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි චන්දන සිල්වා මහතා, ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු දිස්ත්‍රික්ක තුනේ රාජ්‍ය නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.