වාර්තා මැදින් කොදෙව්වන් හැඬවූ අධිරාජ්‍යයේ සුපිරි ඉනිම

එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු එක්දින තරගය, ලකුණු 238 කින් ජයගැනීමට එංගලන්තය සමත් වුණා.

කිසිදු පිතිකරුවෙකු ශතකයක් රැස් නොකර, එක්දින තරගයක ඉනිමකදී ලකුණු 400 සීමාව පසු කළ පළමු කණ්ඩායම ලෙස වාර්තා අතර එක්වීමට ද එංගලන්තයට මෙහිදී අවස්ථාව හිමිවීම විශේෂත්වයක්‍.

තරගය පැවැත්වුණේ එංගලන්තයේ බර්මිංහැම් හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය, පන්දු වාර 50 ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 400 ක් රැස්කළා.

ජාකෝබ් බෙතෙල් ලකුණු 82 ක් රැස්කළ අතර බෙන් ඩකට් ලකුණු 60 යි. හැරී බෲක් ලකුණු 58 ක් සහ ජෝ රූට් ලකුණු 57 ක් රැස්කළා.

එංගලන්ත කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් හත් දෙනාම ලකුණු 30 සීමාව පසු කළ අතර එක්දින ඉතිහාසයේ තරගයකදී මෙවන් දක්‍ෂතාවක් දැක්වූ පළමු අවස්ථාව මෙය විම ද විශේෂත්වයක්.

පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දු වාර 26 යි, පන්දු 2 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වූණේ ලකුණු 162 ක් පමණයි. ජේඩ්න් සීල්ස් ලකුණු 29 යි. පන්දු යැවීමේදී සකීබ් මොහොමඩ් සහ ජෙමී ඔවර්ටන් කඩුලු 3 බැගින් දවාගත්තා.