අත්තනගලු ඔය අවට ජනතාවට විශේෂ දැනුම්දීමක්

අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මෙතැන් සිට ඉදිරි පැය 24 ක දක්වා වූ කාලය තුළ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්න වල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට මේ වන විට අනතුරු අඟවා තිබෙනවා.

එම පහත් බිම් හරහා වැටී ඇති ඇතැම් මාර්ග, ඇතැම් ස්ථානවලින් ජලයෙන් යටවීමේ අවදානමක් ද පවතිනවා. මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශවලින් ද ඉල්ලීමක් කෙරෙනවා.