ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් ආදිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩලය අද (28) ඇමතීමට නියමිතව තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරය අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරදී ඊයේ (27) ආරම්භ කෙරුණු අතර විදේශ කටයුතු ඇමැතිවරයා එහිදී ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.
මේ සැසි වාරයේ ඉහළ පෙළේ විවාදය අද පැවැත්වෙන අතර එහිදී ඇමැති විජිත හේරත් මහතා විසින් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.
“විශ්වාසය යළි ගොඩනැඟීම, පරිවර්තනය කළමනාකරණය කිරීම, සැමට ප්‍රතිඵල ලබා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්” යන තේමාව මෙවර මහා මණ්ඩල සැසියේ තේමාව වී තිබෙනවා.
මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, විදේශ ඇමැතිවරයා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
පසුගිය 08දා ආරම්භ වූ මහා මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායකයන්ගේ සහ අමාත්‍යවරුන්ගේ මහා විවාදය මේ මස 22දා සිට අද (28) දක්වා පැවැත්වෙනවා.
පවතින සන්නද්ධ ගැටුම්, මානුෂීය අර්බුද, දේශගුණික විපර්යාස, පුළුල් වන සමාජ-ආර්ථික අසමානතාවන් සහ බහුපාර්ශ්වික පද්ධතියේ සඵලතාව පිළිබඳ මතුව ඇති ගැටලු හමුවේ මෙවර විවාදය සංවිධාන කර තිබෙන අතර ඊට අමතරව තිරසර සංවර්ධනය, මුහුදු මට්ටම ඉහළයෑම, වසංගත පූර්ව සූදානම, න්‍යෂ්ටික විරෝධීකරණය, මානව හිමිකම් සහ කෘතිම බුද්ධිය ඇතුළු නැගී එන තාක්ෂණය පාලනය කිරීම කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කෙරේ.
