නේපාල හිමාල කලාපයේ පිහිටි හිම්ලුං හිමාල් (Himlung Himal) කඳුවැටියේ පිහිටි කඳවුරක් ආසන්නයේ සිදුවූ දැවැන්ත හිම නායයාමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 12 දෙනෙකු පමණ අතුරුදහන් වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නේපාලයේ මනං (Manang) දිස්ත්‍රික්කයේ පිහිටි මීටර් 7,126 ක් උසැති මෙම කඳුවැටියේ මූලික කඳවුර (Base Camp) ආසන්නයේ ඊයේ (27) උදෑසන මෙම හිම නායයාම සිදුවී ඇති බවයි.
විදේශීය කඳු නැගීමේ කණ්ඩායම් පැමිණීමට ප්‍රථම මාර්ග සකස් කිරීම සහ කඹ සවි කිරීම සඳහා ගොස් සිටි නේපාල ජාතික කඳු නැගීමේ මාර්ගෝපදේශකයින් සහ සහායක පිරිසක් මෙලෙස අනතුරට මුහුණ දී තිබෙනවා.
ප්‍රදේශයට පවතින දැඩි හිමපතනය සහ අයහපත් කාලගුණය හේතුවෙන් මුදාගැනීමේ හෙලිකොප්ටර් යානාවලට එම ස්ථානයට ළඟාවීමට බාධා එල්ල වී ඇති බවත්, කෙසේ වෙතත්, නේපාල අගනුවර වන කත්මණ්ඩු නුවර සිට පළපුරුදු කඳු නැගීමේ ශූරයන්ගෙන් සමන්විත විශේෂ මුදාගැනීමේ කණ්ඩායමක් හෙලිකොප්ටර් මගින් එම ප්‍රදේශය වෙත යොමුකර ඇති බවයි එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.
පසුගිය දින කිහිපය පුරා නේපාලයේ කඳුකර ප්‍රදේශවලට ඇදහැලෙන නොකඩවා වැසි සහ හිමපතනය හේතුවෙන් කඳු නැගීමේ සංචාරක කර්මාන්තයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.
හිම නායයාමේ තර්ජනය හමුවේ ලොව අටවැනි උසම කන්ද වන මනස්ලු (Mount Manaslu) තරණය කරමින් සිටි පිරිස්ද ආපසු හරවා යැවීමට පියවර ගෙන තිබුණා.
