ඉරානයට ගහන්න ගිය ට්‍රම්ප්ගේ මාරක ප්‍රහාරය හදිසියේම නතර වෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ගුවන් ප්‍රහාර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, සෞදි අරාබිය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයන් ඇතුළු ගල්ෆ් කලාපීය නායකයින් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉරානය සමඟ පවතින අර්බුදකාරී තත්ත්වය සාමකාමී අයුරින් විසඳා ගැනීම සඳහා ගිවිසුමකට එළඹීමට ගල්ෆ් කලාපීය රටවල් සූදානමින් පසුවනවා.

ප්‍රහාර දින දෙකක් හෝ තුනක් යනතුරු අත්හිටුවීමට ජනාධිපතිවරයා එකඟ වී තිබෙනවා.

කෙසේ වෙතත්, අවශ්‍ය ඕනෑම මොහොතක ප්‍රහාරාත්මක මෙහෙයුමක් සඳහා සූදානම්ව සිටින ලෙස අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා වෙත නියෝග කර ඇති බව ද සඳහන්.

ගාසා තීරය බලා යාත්‍රා කරමින් තිබූ ජාත්‍යන්තර ආධාර රැගත් නෞකා පෙළකට ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ජාත්‍යන්තර මුහුදු සීමාවේදී සිදුකළ මෙම ප්‍රහාරයේදී ස්වේච්ඡා ක්‍රියාකාරීන් රැගත් නෞකා කිහිපයක් ඊශ්‍රායල භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියාව, බෙල්ජියම, කැනඩාව සහ ප්‍රංශය යන රටවල ස්වෙච්ඡා ක්‍රියාකාරීන් රැගත් “පර්සිවිරන්ස්” නමැති නෞකාවයි, ඊශ්‍රායල හමුදා ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර අයර්ලන්ත ජනාධිපතිවරයාගේ සහෝදරිය ද වනවා. මැලේසියාව, කටාර් රාජ්‍යය සහ තුර්කිය මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.