චීනයේ දරුණු ගින්නක්… පුද්ගලයන් 28කට දිවි අහිමි වෙයි

චීනයේ “පාවහන් අගනුවර” ලෙස සැලකෙන ජින්ජියැන්ග් නගරයේ පාවහන් කර්මාන්තශාලාවක හටගත් දරුණු ගින්නකින් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

කර්මාන්තශාලාවේ පහළ මහලේ තිබූ දැවෙනසුලු ද්‍රව්‍ය හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ලෝකයේ ක්‍රීඩා පාවහන් නිෂ්පාදනයෙන් සියයට 20කට දායකත්වය සපයන මෙම කලාපයේ පිහිටි ‘හුයිටෙන්ග්’ කර්මාන්තශාලාවේ ගින්න හටගන්නා අවස්ථාවේදී පුද්ගලයන් 240කට ආසන්න පිරිසක් එහි රැඳී සිට තිබෙනවා.

සහන සේවකයන් 500කට අධික පිරිසක් එක්ව පුද්ගලයන් 213 දෙනෙකු බේරාගෙන ඇති අතර, අතුරුදන්ව සිටි 26 දෙනෙකු මියගොස් සිටියදී සොයාගත් බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීමෙන් දැඩි කම්පනයට පත් චීන ජනාධිපති ෂී ජින්පින්, අනතුරට වගකිව යුතු පිරිස්වලට එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය පියවර ගන්නා ලෙස නියෝග කර සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සමාගමේ බලධාරීන් කිහිපදෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බවයි චීන රාජ්‍ය මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.