පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින යාපනය ඩෙල්ෆ්ට් දූපතේ පෝනි අශ්වයන් ඇතුළු වන සතුන් සඳහා පානීය ජලය සැපයීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරම්භ කර තිබෙනවා.
ස්වභාවික පරිසරයේ ජෛව විවිධත්වය සුරැකීම වෙනුවෙන් ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ සිදුකෙරෙන පරිසර හිතකාමී ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව අඛණ්ඩව දායකත්වය ලබා දෙනවා.
ඒ අනුව, උතුරු පළාතේ පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් ජල මූලාශ්‍ර සිඳී යාමත් සමග ඩෙල්ෆ්ට් දූපත ආශ්රිත පරිසරයේ වෙසෙන පෝනි අශ්වයන් ඇතුළු වන සතුන් පානීය ජල හිඟයෙන් දැඩි පීඩාවකට පත්ව සිටීම සැලකිල්ලට ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.
ඊයේ [21] දින උතුරු නාවික විධානය මඟින් ආරම්භ කළ මෙම වැඩසටහන යටතේ, උතුරු නාවික විධානයේ ආඥාපතිගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික නෞකා “වසභ” ආයතනය මඟින් ඩෙල්ෆ්ට් දූපතේ බටහිර කොටසේ වෙල්ලායි ප්‍රදේශයේ වෙසෙන පෝනි අශ්ව ගහනය සඳහා පානීය ජලය සැපයීම ආරම්භ කර තිබෙනවා.
