දියවන්නා ඔයෙහි ජල දූෂණය වැළැක්වීමට නව වැඩපිළිවෙළක්

2026 ජගත් පරිසර දිනයට සමගාමිව දියවන්නා ඔයෙහි ජල දූෂණය වළක්වා ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ් සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) පරිසර අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

පාර්ලිමේන්තුව අසලින් ගලා බසින දියවන්නා ඔය ආශ්‍රිත ජල දූෂණය ශ්‍රී ලංකාවේ පරිපාලන අගනගරයෙහි පාරිසරික ගුණාත්මකභාවය, පාරිසරික සුන්දරත්වය මෙන්ම මහජනතාවගේ සෞඛ්‍ය හා ජීවන තත්වය කෙරෙහි ද බලපාන පාරිසරික ගැටලුවක් බවට පරිසර අමාත්‍යංශය විසින් හඳුනා ගෙන ඇත.

පරිසර අමාත්‍යංශයේ පරිසර දුෂණ පාලන හා රසායනික ද්‍රව්‍ය කළමනාකරණ අංශය මගින් දියවන්නා ඔයෙහි ජලයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම හා ප්‍රතිස්ථාපනය උදෙසා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දීර්ඝ කාලීනව ගත හැකි ක්‍රියාමාර්ග ඇතුළත්ව කළමනාකරණ සැලැස්මක් සකස් කර තිබෙනවා.

ඒ අනුව එම කළමනාකරණ සැලැස්ම තුළ මුලික අදියර ලෙස දියවන්නා ඔය ජලාධාර ප්‍රදේශය තුළ පිහිටි නගරවල අදාළ රාජ්‍ය නිලධාරීන් සහ මහජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව හඳුනාගෙන ඇති අතර ඒ සදහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇත.

පසුගිය කාලය තුළ සිදු කරන ලද පරීක්ෂණවල දී දියවන්න ඔය ජලයෙහි මළ අපද්‍රව්‍ය වලින් එකතුවන කෝලිෆෝම් බැක්ටීරියා ඉතා ඉහළ ප්‍රමාණවලින් වාර්තා වී ඇති අතර දියවන්නා ඔයට ඇතුළු වන අපජලයෙන් වැඩි ප්‍රමාණයක් ගෘහස්ථ ප්‍රභවයන්ගෙන් එකතු වන බව ද අනාවරණය වී ඇත.

ඔයෙහි ජලාධාර ප්‍රදේශයන් හී අප ජලය බැහැර කිරීමේ ක්‍රමවේද නිසි පරිදි ස්ථාපිත වී නොතිබීම හේතුවෙන් ගෘහස්ථ මළ අපද්‍රව්‍ය හා සේදුම්කාරක ජලාශයට එකතු වන බවට පරිසර අමාත්‍යංශය අදාළ පාර්ශව සමඟ කළ සොයා බැලීම්වලදී නිරීක්ෂණය වී තිබේ.

ඉකුත් වූ දැඩි වියළි කාලය තුළ දියවන්නා ඔයෙහි විශාල වශයෙන් ඇල්ගී වර්ධනය වීමට මෙම තත්ත්වය දැඩිව බලපා ඇත.

ඒ අනුව කෙටි කාලීන මෙන්ම තිරසාර විසඳුමක් ලෙස හදුනාගත් විවිධ අංශවල නිලධාරීන් හා ආයතන සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් මිට පෙර ද සිදු කර ඇති අතර, එහි තවත් විශේෂ පියවරක් ලෙස, දියවන්නා ඔයේ ජලයේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කෙරේ.

එම වැඩසටහන සඳහා ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය, මධ්‍යම පරිසර අධිකාරිය, ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය, රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය, ශ්‍රී ලංකා පොලිසිය යන ආයතන මගින් සම්පත් දායකත්වය ලබා දීමට නියමිතයි.