දිවයිනපුරා ඩෙංගු මදුරු මර්දන විශේෂ වැඩසටහනක් ලබන මස 2 වැනිදා සිට 7 දක්වා

දිවයිනපුරා ඩෙංගු මදුරු මර්දන විශේෂ වැඩසටහනක් ලබන මස 2 වැනිදා සිට 7 දක්වා ක්‍රියාත්මකයි.

ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (21) පැවැත්වුණා.

ඉකුත් ජනවාරි සිට මේ දක්වා ඩෙංගු රෝගීන් එක්ලක්ෂ හතරදහස් අනූහතරක් වාර්තා වී ඇති බව, ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 79 ක්.

වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ගම්පහ, නුවර, කළුතර, මාතර, ගාල්ල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලින් ද වැඩි රෝගීන් පිරිසක් වාර්තා වනවා.

ඩෙංගු අධි අවදානම් බවට හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස සංඛ්‍යාව 32 ක්.

නිවාසවලට අමතරව, කර්මාන්ත ශාලා, පාසල්. රජයේ ආයතන සහ ආගමික ස්ථානයන් ආශ්‍රිතව ද මදුරුවන් බෝවිය හැකි ස්ථාන වැඩි වශයෙන් හඳුනා ගෙන තිබෙනවා.

ඒ අනුව, ඩෙංගු රෝගීන් යළි වැඩි වීමට පෙර මදුරු කීට ගහනය අඩු කර ගැනීම මෙම මදුරු මර්දන විශේෂ වැඩසටහනෙන් බලාපොරොත්තු වන බව, මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරුණා.