නෝර්වේ සහ ස්විට්සර්ලන්තය හඬවා එංගලන්තය සහ ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

ලෝකකුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට එංගලන්තය සහ ආර්ජන්ටිනාව සමත්වුණා.

ඒ තරගාවලියේ තුන්වැනි සහ සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගවලදි නෝර්වේ සහ ස්විට්සර්ලන්ත යන කණ්ඩායම් පරාජය කරමින්.

තුන්වැනි අර්ධ අවසන් පූර්ව තරගය ලෙස එංගලන්තය සහ නෝර්වේ අතර තරගය පැවැත්වුණේ අමෙරිකාවේ මයාමි හිදි. ඒ 64,000 ක ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගිත්වයෙන්.

තරගයේ 36 වැනි මිනිත්තුවේදි නෝර්වේ කණ්ඩායම තම පළමු ගෝලය ලබාගත්තා.

අනතුරුව පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබියදි එංගලන්තය වෙනුවෙන් ජුඩ් බෙලින්හැම් ගෝලයක් ලබාගත්තා.

ඒ අනුව පළමු අර්ධය නිමා වූයේ ගෝල 1 ට 1 ක් ලෙස දෙපිලම සම තත්වයේ සිටියදි. දෙවන අර්ධයේදි දෙපිලටම ගෝල ලබා ගැනීමට හැකිවුයේ නැහැ.

ඒ අනුව ගෝල 1 ට 1ක් ලෙස තරගයේ නියමිත කාලය අවසන්වීම හේතුවෙන් ජය පරාජය තීරණය කිරීම සඳහා අතිරේක කාලයක් ලබාදුන්නා.

එහිදි ජුඩ් බෙලින්හැම් එංගලන්තය වෙනුවෙන් දෙවැන ගෝලයද ලබාගත්තා. ඒ අනුව ගෝල 2 ට 1 ක් ලෙස තරගය ජයගත් එංගලන්ත කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියා.

එංගලන්තය ෆිෆා ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසි සිව්වැනි අවස්ථාව මෙයයි. මීට පෙර ඔවුන් 1966, 1990 සහ 2018 වසර වලදි මෙම වටයට පිවිස තිබෙනවා‍.

සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය පැවැත්වුණේ ආර්ජන්ටිනාව සහ ස්විට්සර්ලන්තය අතරයි.

අමෙරිකාවේ කන්සාස්හිදි පැවති මෙම තරගය නැරඹීම සඳහා ක්‍රීඩාංගණයට ප්‍රේක්ෂකයින් 70,000කට ආසන්න පිරිසක් පැමිණ සිටියා.

ආර්ජන්ටිනාව තම පළමු ගෝලය ලබාගත්තේ තරගයේ 10 වැනි මිනිත්තුවේදි.

පළමු අර්ධයේදි ස්විට්සර්ලන්ත කණ්ඩායමට ගෝල ලබාගැනීමට හැකිවුයේ නැහැ. ඒ අනුව එම අර්ධය නිමාවූයේ ගෝල 1 ට 0 ක් ලෙස ආර්ජන්ටිනාව පෙරමුණ ගනිමින්.

දෙවන අර්ධයේදි ස්විට්සර්ලන්ත ක්‍රීඩකයින් ගෝලයක් ලබාගත්තා. ඒ අනුව නියමිත කාලය අවසන් වූයේ ගෝල 1 ට 1 ක් ලෙස දෙපිලම සම තත්වයේ සිටියදි.

තරගයේ ජය පරාජය තීරණය කිරීම සඳහා මෙහිදිද අතිරේක කාලයක් ලබාදුන්නා.

අතිරේක කාලයේදි ආර්ජන්ටිනාව ගෝල 2 ක් ලබාගත්තා. ඒ අනුව ඔවුන් ගෝල 3 ට 1 ක් ලෙස තරගය ජයගත් අතර, තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියා.

ආර්ජන්ටිනාව ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසි 6 වැනි අවස්ථාව මෙයයි. ඔවුන් පසුගිය ෆිෆා ලෝක කුසලාන තරගාවලියේ ශුරතාවද හිමිකර ගත්තා.

ඒ අනුව තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිතයි.

දෙවැනි අවසන් පූර්ව තරගය ලෙස එංගලන්තය සහ ආර්ජන්ටිනාව අතර තරගය පැවැත්වෙන්නේ ලබන 15 වැනි දිනයි.