මුලතිව් දිස්ත්‍රික්කයේ ජාතික මට්ටමේ ක්‍රීඩා පිටි 3ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ

දශක ගණනාවක පශ්චාත් යුද වාතාවරණය හමුවේ යටිතල පහසුකම් අවම වී, ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් අතහැර දමා තිබූ මුලතිව් දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රධාන ක්‍රීඩාංගන තුනක් ප්‍රතිසංස්කරණය කර, ජාතික මට්ටමට නංවාලීමේ ව්‍යාපෘතිය ඊයේ (11) නිල වශයෙන් ආරම්භ කරන ලදී.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් මුලතිව්හිදී මෙම සංවර්ධන ව්‍යාපෘති සඳහා මුල්ගල් තැබීම සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක් වූ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ, පසුගිය කාල වකවානුවල උතුරු පළාතේ ජනතාව වෙත ලබාදුන් පොරොන්දු ප්‍රායෝගිකව ඉටුකිරීමට වත්මන් රජය කැපවී සිටින බවයි.

රටේ සමස්ත තරුණ පරපුරට සාධාරණත්වය ඉටුකිරීම රජයේ ප්‍රතිපත්තිය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, “ලස්සන ජීවිතයක් සහ යහපත් අනාගතයක් උතුරටත් දකුණටත් එකලෙස නිර්මාණය කර දිය යුතුයි” යන ස්ථාවරයේ සිටිමින් ක්‍රීඩා අමාත්‍යාංශය මෙම පියවර ගත් බව අවධාරණය කළේය.

මෙම සමාරම්භක අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්, ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ නියෝජිතයින්, දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරීන් මෙන්ම මුලතිව් ප්‍රදේශයේ පාසල් දරුවන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සහභාගී වූහ.