කළුතර දකුණ පොලිස් ස්ථානය ඉදිරිපිටදී සිදුකරන ලද හදිසි ඩීසල් පරීක්ෂාවකදී ඊයේ (10) දින සම්පූර්ණයෙන්ම භූමිතෙල් යොදා ගනිමින් ධාවනය වූ බස් රථ කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ කළුතර දකුණ රථවාහන පොලිසිය විසින්.
මාර්ග අංක 425 යටතේ බණ්ඩාරගම සිට කළුතර දක්වා ගමන් ගනිමින් තිබූ බස් රථයක් පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේදී එහි ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන්ම භූමිතෙල්වලින් පුරවා තිබූ අතර, ඒ වන විටත් එහි ගමන් කරමින් සිටි මගීන් බැස්සවීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
මෙම හදිසි මෙහෙයුමේදී ප්‍රදේශයේ ධාවනය වූ බස් රථ 25කට ආසන්න සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, නීති විරෝධී ලෙස ඉන්ධන භාවිත කිරීම සහ නොයෙකුත් අඩුපාඩු පැවතීම හේතුවෙන් මෙලෙස බස් රථ කිහිපයක්ම පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් බස් රථ සහ ඒවායේ රියදුරන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට කළුතර දකුණ පොලිසිය කටයුතු යොදා ඇත.
