මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ‘රත්මලානේ සයිමා’ පේරාදෙණිය පොලීසියට

මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් “රත්මලානේ සයිමා” නමැත්තා වැඩිදුර විමර්ශන සඳහා පේරාදෙණිය පොලීසියට භාර දී තිබෙනවා.

රතු නිවේදන නිකුත් කර තිබූ රත්මලානේ සයිමා නැමති සැකකරු ඇතුළු තුන් දෙනෙකු සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (10) පස්වරුවේ මෙරටට රැගෙන එනු ලැබුවා.

ඔවුන් අත්අඩංගුවට ගැනුණේ වලාන මධ්‍යම දූෂණ මර්ධක ප්‍රහාරක ඒකකය සහ මැලේසියානු පොලීසිය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි.

රත්මලානේ සයිමා නැමැත්තා , ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කංජිපානි ඉම්රාන් නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.

අදාළ ප්‍රධාන සැකකරු 41 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු 2014 වර්ෂයේ දී පේරාදෙණිය පොලිස් වසමේ දී ගිනිඅවි පෙන්වා පුද්ගලයෙකු පැහැරගෙන ගොස් තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සහ 2016 වර්ෂයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකක චූදිතයෙකු වේ.

ඒ අනුව අදාළ සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සදහා පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.