මහවැලි ‘සී’ කලාපයෙන් වාර්තාගත කීරි සම්බා වී අස්වැන්නක්

මෙවර යල කන්නයේ මහවැලි ‘සී’ කලාපයේ වී ගොවීන් වාර්තාගත කීරි සම්බා වී අස්වැන්නක් නෙළා ඇති බව, සමීක්‍ෂණයකින් හෙළි වී තිබෙනවා.

ඒ අනුව, එක් ගොවියෙකුට දළ වශයෙන් වී කිලෝ 11,350 ක් වැනි ඉහළ වී අස්වැන්නක් නෙළා ගැනීමට හැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වනවිට වී අස්වනු නෙළීම ආරම්භ කර ඇති අතර “පුනරුදයට අරුණලු” ජාතික වැඩසටහනට සමගාමීව අඩු වියදමකින් අස්වනු ඉහළ නැංවීමේ “යාය 500” වැඩසටහන යටතේ වී ගොවීන් 250 ක් තෝරාගෙන මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මතයි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් දිරි දීමනා ලෙස රුපියල් පනස් දහසක මුදලක් ලබාදෙමින්, තාක්‍ෂණික කරුණු 10 ක් ඔස්සේ මගපෙන්වීම් කටයුතු සිදුකරමින් ඉහළ අස්වැන්නක් නෙළා ගැනීමට මග පෙන්වා දී තිබුණා.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ උපදෙස් අනුව මෙවර යල කන්නය ආරම්භයේදීම ගොවි ජනතාවට ලබාදුන් තාක්‍ෂණික කරුණු අනුව ගැඹුරට සීසෑම, ලියැදි විශාල කිරීම, කාබනික පොහොර යෙදීම යන කරුණු ඔස්සේ මෙවැනි ඉහළ අස්වැනක් ලබාගැනීමට හැකි වූ බවයි වී ගොවීන් කියා සිටියේ.