දීර්ඝ කාලයක් අඩපණව පැවති මාධ්‍යවේදී ප්‍රගීත් එක්තැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය යළි ආරම්භ කිරීමට කොළඹ ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා.
මෙම නඩුව මීට විභාග කරන ලද්දේ නාමල් බලල්ලේ, මහේන් වීරමන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ.
නමුත් නාමල් බළල්ලේ විනිසුරුවරයා විනය පරීක්ෂණයක් හේතුවෙන් වැඩ තහනමට ලක්වීම නිසාත්, මහේන් වීරමන් විනිසුරුවරයා විශ්‍රාම යාම නිසාත් මෙම නඩු විභාගය මාස ගණනාවක් අඩාල වී තිබුණා.
මේ හේතුවෙන් මෙම නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.
ඒ අනුව අගවිනිසුරුවරයා විසින් පත් කරනු ලැබූ නයනා සෙනෙවිරත්න, නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව අද කැඳවනු ලැබුවා.
මෙම නඩුව මීට පෙර කොළඹ අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ විභාගයට ගැනුණද එය අද දින විභාගයට ගැනුනේ කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය ධූරය දැරූ සමයේ ඔහු පදිංචිව සිටි නිල සිවසේ ස්ථාපිත කර තිබෙන අධිකරණයක වීම විශේෂත්වයක්.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී එම නඩුව යළි මැයි මස 08 වනදා සිට සතිපතා විභාගයට ගැනීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සාක්ෂිකරුවන් දෙදෙනෙකුට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිට ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළා.
2010 වසරේ ජනවාරි මස 24 වනදා සිට 27 වනදා දක්වා කාල සීමාව තුළ මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව නීතිපතිවරයා විසින් ගොනු කර තිබුණා.
එහි විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ ගිරිතලේ යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කළ කර්නල් ෂම්මි අර්ජුන කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකු නම් කර තිබෙනවා.
මොවුන් මේ වන වට අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබෙනවා.
