මිත්‍රත්වයේ 65 වසර සලකුණු කළ විශේෂ හමුව

චීන ජනාධිපති ෂී ජින්පින් සහ උතුරු කොරියානු අග්‍රාමාත්‍ය Pak Thae-song යන මහත්වරුන් අතර විශේෂ හමුවක් බීජිං නුවර මහජන මහා ශාලාවේදී පවත්වා තිබෙනවා.

පසුගිය මාසයේ පැවැති ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර උපායමාර්ගික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ වී ඇති බව වාර්තා වනවා.

චීන – උතුරු කොරියානු මිත්‍රත්ව ගිවිසුමේ 65 වැනි සංවත්සරයට සමගාමීව මෙම ඉහළ පෙළේ සාකච්ඡාව සංවිධානය කර තිබෙනවා.

මෙම හමුවේදී අදහස් දක්වමින්, චීන ජනාධිපතිවරයා පවසා ඇත්තේ දෙරටේ ස්වෛරීභාවය, ආරක්ෂාව මෙන්ම සංවර්ධන අවශ්‍යතා ඒකාබද්ධව ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බවයි.

එසේම දෙරට අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය ඉදිරි පරම්පරාවන් වෙත දායාද කිරීමේ වැදගත්කම ඔහු මෙහිදී අවධාරණය කර සිටිනවා.

දෙරටේ සබඳතාව ශක්තිමත් උපායමාර්ගික මට්ටමකට ගෙන ඒමට තම නායක කිම් ජොන් මහතා බලාපොරොත්තු වන බව උතුරු කොරියානු අග්‍රාමාත්‍යවරයා පවසනවා.

නව යාළු ගංගා (New Yalu River) මහා පාලම විවෘත කිරීම සහ දේශසීමා වෙළෙඳ කලාප පුළුල් කිරීම ඇතුළු ආර්ථික සහයෝගීතා පියවර රැසක් පිළිබඳවද මෙම සංචාරයේදී දෙපාර්ශ්වයේ අවධානය යොමුව ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා.