ඉරානය සමඟ ගිවිසුමකට එළඹීමේ අවස්ථාව තවමත් පවතින නමුත්, ටෙහෙරානය නිවැරදි ගිවිසුමකට සූදානම් නොමැති බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් අමෙරිකාවට විශාල පාලනයක් පවතින බව ඔහු අවධාරණය කරනවා.මේ අතර, ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන් කියාසිටින්නේ.දැන් යුද්ධය අවසන් කිරීම වඩාත් සුදුසු බවයි.එය ඉරානයේ ශක්තිය සහ ගෞරවය තහවුරු කරගත් ස්ථාවරයක සිට සිදුකළ යුතු බවද ඔහු පෙන්වා දෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, ඉරානය සමඟ යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමකට එළඹීමට ටෙහෙරානය කැමැත්තෙන් පසුවුවද, තමන් අපේක්ෂා කරන නිවැරදි කොන්දේසි පිළිගැනීමට ඉරානය තවමත් සූදානම් නොමැති බවයි.හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන්ද දැඩි ප්‍රකාශයක් සිදුකරන ට්‍රම්ප්, එම කලාපය පිළිබඳව අමෙරිකාවට විශාල පාලනයක් පවතින බව කියා සිටිනවා.මේ අතර, අමෙරිකා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් පවසන්නේ ඉරාන රජයට එරෙහිව දැඩි ආර්ථික සම්බාධක ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි. එමගින් ඉරාන ආණ්ඩුවට දැඩි ආර්ථික පීඩනයක් එල්ල කිරීම අමෙරිකාවේ අරමුණ වී තිබෙනවා.කෙසේ වුවද, ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන් ප්‍රකාශ කරන්නේ දැන් යුද්ධය අවසන් කිරීමට කාලය එළඹ ඇති බවයි.තම රට මේ වනවිට ශක්තියෙන් සහ ගෞරවයෙන් යුත් ස්ථාවරයක සිටින බැවින්, එම ස්ථාවරයේ සිට යුද්ධය අවසන් කිරීම වඩාත් සුදුසු බව පෙසෙෂ්කියාන් කියා සිටියා.අමෙරිකාව ඉරාන පාසල්, රෝහල් සහ යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කර ඇති බවටද ඔහු චෝදනා කරනවා. අමෙරිකාව සමඟ මීට පෙර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමෙන් ඉරානය යටත් වූ බවට එල්ලවන චෝදනාද ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන් ප්‍රතික්ෂේප කරනවා.