ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාව විශේෂ නිල ඇගයීමක්

මැලේරියාවෙන් තොර රටක් ලෙස ශ්‍රී ලංකාව අත්කරගත් ඓතිහාසික ජයග්‍රහණය දශකයක් පුරා සුරක්ෂිත කිරීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ නිල ඇගයීමක්…

මාරාන්තික මැලේරියාව තුරන් කිරීමේ ජාතික මෙහෙවර වෙනුවෙන් දශක ගණනාවක් කැපවී සේවය කළ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ සෞඛ්‍ය වෘත්තිකයන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ විශේෂ ඇගයීමට.

ශ්‍රී ලංකාව මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අත්කරගත් සුවිශේෂී හා ඓතිහාසික ජයග්‍රහණයක් වන මාරාන්තික මැලේරියාවෙන් තොර රටක් බවට පත්වීමේ තත්ත්වය වසර දහයක් පුරා අඛණ්ඩව සුරක්ෂිත කර ගැනීමට සමත්වීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ශ්‍රී ලංකාව වෙත පිරිනමන ලද විශේෂ නිල ඇගයීම අභිමානවත් ලෙස සනිටුහන් කරමින්, එම ජයග්‍රහණය සාක්ෂාත් කර ගැනීම සඳහා දශක ගණනාවක් පුරා කැපවී සේවය කළ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ සෞඛ්‍ය වෘත්තිකයන් ඇගයීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

මැලේරියාව මෙරටින් තුරන් කිරීම යනු එක් අවස්ථාවකදී අත්කරගත් සෞඛ්‍ය ජයග්‍රහණයක් නොව, දශක ගණනාවක් පුරා විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු සියලු සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අඛණ්ඩ කැපවීම, වෘත්තීය දැනුම, පර්යේෂණ, රෝග නිරීක්ෂණය සහ ක්ෂේත්‍ර මට්ටමේ දැඩි මෙහෙයුම් මත ගොඩනැගුණු ජාතික සෞඛ්‍ය ජයග්‍රහණයකි. එම ජයග්‍රහණය පරම්පරාවෙන් පරම්පරාවට සුරක්ෂිත කරමින් වසර දහයක් පුරා මැලේරියාව යළි මෙරට තුළ ස්ථාපිත වීමට ඉඩ නොදීම එහි අඛණ්ඩතාව තවදුරටත් තහවුරු කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස නිල වශයෙන් සහතික කරනු ලැබුවේ 2016 වසරේදීය. එතැන් සිට මේ දක්වා මැලේරියාව යළි මෙරට තුළ සම්ප්‍රේෂණය වීම වැළැක්වීමට ශ්‍රී ලංකාව සමත්වීම, මැලේරියා තුරන් කිරීමෙන් පසු එම තත්ත්වය ආරක්ෂා කර ගැනීමේ ජාතික සෞඛ්‍ය පද්ධතියේ ශක්තිය හා අඛණ්ඩ සූදානම පිළිබිඹු කරන සුවිශේෂී ජයග්‍රහණයකි.

මෙම ජයග්‍රහණය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නිල ඇගයීම් සහතිකය පසුගියදා ටිමෝර්-ලෙස්තේ රාජ්‍යයේ ඩිලි නුවර පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසියේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත පිරිනමනු ලැබීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අධානොම් ගෙබ්‍රියේසස් මහතා විසින් එම සහතිකය පිරිනමනු ලැබූ අතර, එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කාර්යාලයේ ප්‍රධානී ආචාර්ය නිලේෂ් බුද්ධා මහතාගේ අත්සනින් යුක්ත වේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මැලේරියාවෙන් තොර රටක් බවට ශ්‍රී ලංකාව පත්වීමත්, එම තත්ත්වය දශකයක් පුරා අඛණ්ඩව ආරක්ෂා කර ගැනීමට සමත්වීමත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ලැබූ සුවිශේෂී ජාතික ජයග්‍රහණයක් බව මෙහි දී අවධාරණය කර සිටියේය.

මැලේරියාව තුරන් කිරීමෙන් පසු එම ජයග්‍රහණය ආරක්ෂා කර ගැනීම සඳහා අඛණ්ඩව කටයුතු කළ සහ අද දක්වා එම ජාතික වගකීම ඉටු කරන සියලු සෞඛ්‍ය වෘත්තිකයන් වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෘතඥතාව පළ කළ යුතු බව ද පැවසීය.

මැලේරියාව තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණය තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා රෝග නිරීක්ෂණය, ආනයනික මැලේරියා අවස්ථා කඩිනමින් හඳුනාගැනීම, ප්‍රතිකාර කිරීම සහ රෝගය යළි සම්ප්‍රේෂණය වීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග අඛණ්ඩව ශක්තිමත් කළ යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මැලේරියාව තුරන් කිරීමේ ජාතික මෙහෙවර වෙනුවෙන් දශක ගණනාවක් පුරා කැපවී සේවය කළ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සේවය මෙලෙස ඇගයීමට ලක් කිරීම, ඔවුන්ගේ වෘත්තීය කැපවීම අගය කිරීමක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් වෙනුවෙන් ඔවුන් කළ අමිල මෙහෙවර ජාතික වශයෙන් සටහන් කිරීමක් ද වේ.