ෂැංහයි සහයෝගිතා සංවිධානයට වසර 25යි

ෂැංහයි සහයෝගිතා සංවිධානයට වසර 25යි:

වාර්තාව – විජය දිසානායක‍ (නිව්යෝක් නුවර සිට)

ජාත්‍යන්තර කටයුතු වාර්තාකරුවෙකු ලෙස ඉකුත් වසරේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයට වසර 80ක් සපිරීම නිමිත්තෙන් පැවැති සැසිවාර සහ රාජ්‍ය නායක හමුවීම් ආවරණය කිරීමේ අවස්ථාව මට හිමි විය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු සාමය, ආරක්ෂාව සහ ජාත්‍යන්තර සහයෝගීතාව වෙනුවෙන් බිහි වූ එම සංවිධානය අදත් ගෝලීය පාලන ව්‍යුහයේ කේන්ද්‍රීය ආයතනය ලෙස පවතින නමුත්, යුක්රේනයේ සිට මැද පෙරදිග දක්වා වූ ගැටුම්, දේශගුණික අර්බුදය, ආර්ථික අසමානතා සහ ජාත්‍යන්තර බල අරගල හමුවේ එහි සීමාවන්ද පැහැදිලිව දක්නට ලැබෙන බැව් නොරහසකි.

ජගත් සංවිධාන සැසිවාරය තුළත් ඉන් පිටතත් බොහෝ රටවල් සහ විශ්ලේෂකයන් එක් වැදගත් ප්‍රශ්නයක් මතු කර ඇත. එනම්, 21 වැනි සියවසේ ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා වඩාත් නියෝජනශීලී, වඩාත් බහුධ්‍රැවීය සහ වඩාත් සහයෝගීත්වයක් සහිත ජාත්‍යන්තර රාමුවක් අවශ්‍ය නොවේද යන්නයි.

එවැනි පසුබිමක 2026 ජූනි 15 වැනිදාට වසර 25ක් සපුරන ෂැංහයි සහයෝගිතා සංවිධානය (SCO) කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමුවීම අහම්බයක් නොවේ.

යුරේසියානු කලාපයේ ආරක්ෂාව, සංවර්ධනය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ආරම්භ වූ මෙම සංවිධානය වර්තමානයේ බහුධ්‍රැවීය ලෝක පද්ධතියක් පිළිබඳ සංවාදයේ වැදගත් අංගයක් බවට පත්ව ඇත.

සහයෝගීතාවයේ අවශ්‍යතාව දැඩි කළ අර්බුදකාරී ලෝකයක්

21 වැනි සියවසේ දෙවන කාර්තුව ආරම්භ වන විට එකිනෙකට සම්බන්ධ වූ අර්බුද ගණනාවකට ලොව මුහුණපා සිටී. යුක්රේන යුද්ධය, ඉරාන- අමෙරිකා යුද්ධය, මැද පෙරදිග අස්ථාවරත්වය, දේශගුණික විපර්යාස, ආහාර හා බලශක්ති අර්බුද, සයිබර් තර්ජන සහ ආර්ථික අවිනිශ්චිතතාව ඒ අතර ප්‍රධාන තැනක් ගනී.

ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෑත වාර්තා පෙන්වා දෙන්නේ ගෝලීය ආර්ථික වර්ධනය ඉකුත් දශක කිහිපය තුළ වාර්තා වූ දුර්වලම මට්ටම් කරා ළඟා වෙමින් පවතින බවකි. බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් තවමත් කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම්වලින් සම්පූර්ණයෙන් ප්‍රකෘතියට පත්ව නොමැත.

මෙවැනි පසුබිමක රටවල් තනි තනිව ක්‍රියාමාර්ගවලට එළැඹීමට වඩා බහුපාර්ශ්වික සහයෝගීතාවේ වැදගත්කම ඉහළ යයි. ෂැංහයි සහයෝගිතා සංවිධානයේ වැදගත්කම අවබෝධ වන්නේ මෙහිදීය.

කුඩා ආරක්ෂක රාමුවකින් ගෝලීය බලපෑමක් සහිත සංවිධානයක් දක්වා

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ආරම්භය සිදු වූයේ “ෂැංහයි ෆයිව්” නම් දේශසීමා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාවලියක් ලෙස 2001 වසරේදීය. එහෙත් වසර 25ක් තුළ එය ආරක්ෂාව පමණක් නොව, ආර්ථික සහයෝගීතාව, වෙළෙඳාම, ප්‍රවාහනය, බලශක්තිය, ඩිජිටල් සම්බන්ධතා, සංස්කෘතික හුවමාරු සහ ජනතාව අතර සබඳතා දක්වා විහිදුණු පුළුල් වේදිකාවක් බවට පරිවර්තනය විය.

ත්‍රස්තවාදය, අන්තවාදය සහ බෙදුම්වාදයට එරෙහි ඒකාබද්ධ ක්‍රියාමාර්ග, ආරක්ෂක අභ්‍යාස සහ බුද්ධි තොරතුරු හුවමාරුව මගින් කලාපීය ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට ද සංවිධානය සමත් ව සිටී.

එමෙන්ම යුරේසියානු කලාපය පුරා සම්බන්ධතා වැඩිදියුණු කිරීම සහ කලාපීය වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම තුළින් සංවර්ධනය සඳහා නව ඉඩප්‍රස්ථාවන්ද නිර්මාණය කර ඇත.

ෂැංහයි ආත්මයතවමත් ප්‍රබල වන්නේ ඇයි?

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාර්ථකත්වය පැහැදිලි කිරීමට භාවිතා කරන ප්‍රධාන සංකල්පය වනුයේ “ෂැංහයි ආත්මය” ය.

මෙම සංකල්පයේ වැදගත්කම චීන ජනාධිපති ෂී ජින්පිං ද අවස්ථා ගණනාවකදී අවධාරණය කර ඇත.

“අන්‍යෝන්‍ය විශ්වාසය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ, සමානාත්මතාව, සාකච්ඡාව, ශිෂ්ටාචාරවල විවිධත්වයට ගරු කිරීම සහ පොදු සංවර්ධනය යන ෂැංහයි ආත්මය ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මූලික පදනම වී තිබේ” ෂී පවසයි. තවද, “ෂැංහයි සහයෝගිතා සංවිධාන පවුලට එක්වීමට රටවල් වැඩි වැඩියෙන් උනන්දු වීම එහි මූලධර්මවල පුළුල් ආකර්ෂණය සහ එහි අනාගතය පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය පිළිබිඹු කරයි” යනුවෙන් ද ජනාධිපති ෂී ප්‍රකාශ කර තිබේ.

අන්‍යෝන්‍ය විශ්වාසය, සමානාත්මතාව, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ, සාකච්ඡාව, සංස්කෘතික විවිධත්වයට ගරු කිරීම සහ පොදු සංවර්ධනය එහි මූලධර්ම වේ.

අද ලෝකයේ බොහෝ ගැටුම්වල මූලය වන්නේ වෙනස්කම් පිළිගැනීමට ඇති නොකැමැත්තයි. එහෙත් ෂැංහයි සහයෝගිතා සංවිධානය විසින් පෙන්වා දී ඇත්තේ විවිධ දේශපාලන ක්‍රම, ආර්ථික ආකෘති සහ සංස්කෘතික පසුබිම් ඇති රටවලටද පොදු අරමුණු වෙනුවෙන් එකට එක්ව කටයුතු කළ හැකි බවයි.

මෙය 21 වැනි සියවසේ ජාත්‍යන්තර සබඳතාවලට ලබා දෙන වැදගත් පණිවිඩයකි.

චීනයේ දායකත්වය සහ බහුධ්‍රැවීය ලෝකය

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සංවර්ධනය පිළිබඳ සිදුකෙරෙන ඕනෑම කථිකාවතකින් චීනයේ දායකත්වය බැහැර කළ නොහැක.

සංවිධානයේ සමාරම්භක සාමාජිකයෙකු ලෙස චීනය ආරක්ෂාව, ආර්ථික සම්බන්ධතා සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මුළුමහත් කලාපයටම නායකත්වය ලබා දී ඇත. විශේෂයෙන් “තීරයක් සහ මාවතක්” මුලපිරුම යුරේසියානු කලාපයේ සම්බන්ධතා වැඩිදියුණු කිරීමෙහිලා තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබේ.

එහෙත් ෂැංහයි සහයෝගිතා සංවිධානයේ වැදගත්කම හුදෙක් චීනයේ ආර්ථික බලය තුළ පමණක් රඳා නොපවතී. එය ඉන් ඔබ්බට දිවෙන වඩාත් පුළුල් සංකල්පයක් සමඟ සම්බන්ධ වේ. එනම්, ලෝක පාලනය සහ ජාත්‍යන්තර තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී සංවර්ධනය වෙමින් පවතින රටවලටද වැඩි හඬක් සහ වැඩි නියෝජනයක් හිමි විය යුතුය යන අදහසයි.

21 වැනි සියවසේ බහුධ්‍රැවීය ලෝක පර්‍යායක් ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ෂැංහයි සහයෝගිතා සංවිධානය වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටින බව බොහෝ විශ්ලේෂකයින්ගේ අදහසවී තිබේ.

ලෝකයට උගන්වන පාඩම

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ වසර 25ක ගමන් මග තුළ උගත හැකි ප්‍රධාන පාඩම වන්නේ තිරසාර ආරක්ෂාව සහ සංවර්ධනය ගොඩනැගෙන්නේ අධිපතිවාදයෙන් නොව සහයෝගීතාවයෙන් බවයි.

බෙදීම්, සම්බාධක සහ බල තරඟවලින් පිරුණු වර්තමාන ජාත්‍යන්තර පරිසරය තුළ සංවාදය, අන්‍යෝන්‍ය ගෞරවය සහ පොදු ප්‍රතිලාභ මත පදනම් වූ ප්‍රවේශයක් වඩාත් අවශ්‍යව පවතී.

වසර 25කට පසු ෂැංහයි සහයෝගිතා සංවිධානය ලෝකයට පෙන්වා දෙන්නේ විවිධත්වය බාධාවක් නොව ශක්තියක් විය හැකි බවයි. බහුධ්‍රැවීය ලෝකයක ස්ථාවරත්වය සහ සමෘද්ධිය ගොඩනැගීමට අවශ්‍ය වන්නේ ගැටුම් නොව හවුල්කාරිත්වය බව එය අපට සිහිපත් කර දෙයි.

එම අර්ථයෙන් ගත් කල, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ 25 වැනි සංවත්සරය හුදෙක් සංවිධානයක ‍රිදී ජුබිලියක් නොව, සහයෝගීතාව මත පදනම් වූ නව ජාත්‍යන්තර පද්ධතියක් පිළිබඳ විවාදයට දායක වන වැදගත් අවස්ථාවකි.