එංගලන්ත කාන්තාවන් 5වැනි වරටත් අවසන් තරගයට

ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ, අපරාජිත කණ්ඩායමක් ලෙස අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ, දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති දෙවැනි අවසන් පූර්ව තරගය ලකුණු 40 කින් ජය ගනිමින්.

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමක්, ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියකදී අවසන් තරගයට සුදුසුකම් ලැබූ 5 වැනි අවස්ථාව මෙයයි.

තරගය පැවැත්වුණේ, එංගලන්තයේ කෙනින්ග්ටන් ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය හිමි කර ගත් දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව, ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 169 ක් රැස් කළා.

නායිකා නැට් සිවර් බ්‍රන්ට් ලකුණු 75 යි. හෙදර් නයිට් ලකුණු 58 ක් රැස් කළා. පන්දු යැවීමේදී දකුණු අප්‍රිකා කණ්ඩායමේ ෂබ්නිම් ස්මයිල් සහ නන්කුලුලෙකෝ මලාබා කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

ලකුණු 170 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ, ලකුණු 129 ක් පමණයි. ටස්මින් බ්‍රිට්ස් ලකුණු 51 යි.

පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායමේ ලව්රන් බෙල් සහ චාලි ඩීන් කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

ජයග්‍රහණයත් සමගින් එංගලන්ත කණ්ඩායම ලබන 5 වැනිදා ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග එංගලන්තයේ ලොර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.