20-20 සටනට කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටව යයි

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගියා.

තරගාවලිය ලබන 28 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වනවා.

තරගාවලියට පිටත්ව යාමට පෙර ශ්‍රි ලංකා ක්‍රීඩිකාවන් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත් වල නිරතවුනා.

මෙවර තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්. ‍චමරි අතපත්තු නායකත්වය දරන කණ්ඩායමේ උපනායිකාව හර්ෂිතා සමරවික්‍රමයි.

මෙවර කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් තරගාවලිය පැවැත්වෙන අතර මුලික වටයේ තරග ‘ඒ’ හා ‘බී’ ලෙස කාණ්ඩ දෙකකින් පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව මූලික වටයේදී ‘බී’ කාණ්ඩයෙන් තරග වදිනවා.

ඊට ඇතුළත් සෙසු කණ්ඩායම් වන්නේ බංගලාදේශය, ඉන්දුනීසියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ලබන 29 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ඩුබායි හිදී පැවැත්වෙනවා.

ලබන මස 02 වැනිදා ඉන්දුනීසියාව සමග තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම 06 වැනිදා බංගලාදේශය සමග තරග වැදීමට නියමිතයි. 2024 වසරේදී පැවැති කාන්තා විස්සයි විස්ස ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ශූරතාව දිනාගනු ලැබුවා.