බංග්ලාදේශය පරදා සිංහ කෙල්ලෝ අවසන් පූර්ව වටයට

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා.

ඒ මූලික වටයේ තමන් සහභාගී වූ තරග තුනම ජය ගනිමින්.

ඊයේ බංගලාදේශය සමග පැවැති තරගය ශ්‍රී ලංකාව ජයගත්තේ කඩුලු 04 කින්. තරගය ඩුබායි හිදී පැවැත්වුනා.

කාසියේ වාසියේ දිනු ශ්‍රි ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බංගලාදේශයට ආරාධනා කළා.

ඒ අනුව බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 8 ක් දැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 114 ක්.

වැඩිම ලකුණු ලාභියා වූ සොබානා මොස්ටරි ලකුණු 34 ක් ලබාගත් අතර ඩිලාරා අක්තර් ලකුණු 26 යි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ චමුදි ප්‍රබෝධා ලකුණු 21 කට කඩුලු 3 ක් දවාගත්තා.

සුගන්දිකා කුමාරි කඩුලු 2 යි. තරගය ජයගැනීමට සදහා ලකුණු 115 ක ඉලක්කයක් සමග ශ්‍රී ලංකා ඉනිම ආරම්භ ‍කලේ ඉමේෂා දුලානි සහ චමරි අතපත්තු.

ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 05 ලකුණු 44 ක් තුළ දැවීගියා.

අනතුරුව හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂිකා සිල්වා 06 වන කඩුල්ලට ලකුණු 38 ක සබඳතාවක් ගොඩනැගීමට සමත්වුනා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගය ජයගත්තේ පන්දුවාර පන්දු 19යි පන්දු 2 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 115 ක් රැස්කරමින්.

හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුනු 48 යි. පන්දු 37 කදී ගොඩනැගුණු ඇගේ ඉණිමට 4 පහර 4 ක් සහ 6 පහර 2 ක් ඇතුළත්. නිලක්ෂිකා සිල්වා ලකුණු 18 ක් රැස්කළා.

පන්දු යැවීමේ මරූෆා අක්තර් කඩුලු 3යි. ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ බී කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

ඔවුන් සහභාගී වන අවසන් පූර්ව තරගය ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිතයි.